ගංජා හේනක් වටලා සැකකරුගෙන් ලක්ෂ 05ක අල්ලසක් ගත් පොලිසියේ හතරකට වැඩ වරදියි

තණමල්විල, නිකවැව, දෙමෝදර වැව ආශ්‍රිත ගංජා හේනක් වටලා එහි සැකකරුට නීත්‍යානුකූලව ක්‍රියාමාර්ග නොගෙන සිටිම සඳහා රුපියල් ලක්ෂ 05ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරනු ලබන
පොලිස් සැරයන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙක්.

තණමල්විල, නිකවැව, දෙමෝදර වැව ආශ්‍රිත ගංජා හේනක් පවතින බවට තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට පුද්ගලික තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් පසුගිය 11 වනදා අදාළ ප්‍රදේශය වටලා ගංජා හේනක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වුණේ.

අනතුරුව අවට සිදුකළ සෝදිසියේදී සැකකරුට අයත් තවත් ගංජා හේන් තුනක්ද සොයා ගැනීමට පොලිසියට හැකිව ඇති අතර, තවත් ගංජා හේනක් කපා පුච්චා තිබෙනු දැක පොලිස් නිලධාරීන් සැකකරුගෙන් මේ පිළිබදව ප්‍රශ්න කර තිබෙනවා.

එහිදි සැකකරු පවසා ඇත්තේ පසුගිය 10 වනදා මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් හය දෙනෙකු පැමිණ මෙහි වැටලිමක් සිදුකළ බවත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට තමාගෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාගත් බවයි.

එම නිලධාරින් පිරිස එහි තිබූ ගංජා හේන් පහෙන් එකක් පමණක් ගිනි තබා විනාශ කර ඉතිරි ගංජා ප්‍රමාණය රැගෙන ගිය බව ද ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදුවෙමින් තිබියදී නිකවැව ප්‍රදේශයේ පදිංචි කලු නැමති පුද්ගලයෙකු ද ගංජා සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේදි පවසා ඇත්තේ මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් හයදෙනෙක් පැමිණ මෙම ගංජා තොගය වියළන ලෙස තමාට පැවසූ බවයි.

අනතුරුව සැකකරුවන් දෙදෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රශ්න කිරිම සඳහා රැදවුම් නියෝග ලබාගෙන ඇති අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත තණමල්විල පොලිසිය විසින් සැකකාර පොලිස් නිලධාරින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.