කෝටි 10ක කුෂ් කටුනායකින් අල්ලයි

කටුනායක ගුවන් තොටුපොළේ අතපසු වී ගිය ගමන් මලු අතර තිබී රුපියල් කෝටි 10ක් වටිනා “කුෂ් ” තොගයක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ සිට ඩුබායි වෙත රැගෙන විත් එතැන් සිට පසුගිය නොවැම්බර් මස 14 වනදා පස්වරු 02.40ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 226 දරන ගුවන් යානයෙනුයි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබී ඇත්තේ.

මේ පිළිබඳ තොරතුරු බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන්ට වාර්තා වී තිබූ අතර කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවයේ නිරත පොලිස් නිල සුනඛයන් ද සහභාගී කර ගෙන මෙම විමර්ශනය කර තිබුණා.

මෙම ගමන් මලු තුළ “කුෂ්” කිලෝ ග්‍රෑම් 19යි ග්‍රෑම් 588ක් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සඳහන් කළා.

මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීමෙන් පසුව ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ද පැමිණ නිරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා.

මෙම කුෂ් තොගය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.