කෝටි දෙකක අධික උපකරණ සමඟ සයිබර් අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට

පරිගණක මූල්‍ය අපරාධ සිදු කිරීම සදහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙක් සමග, රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” ඔස්සේ පිට කර ගෙන යමින් සිටිය දී, ඔවුන් පිරිස අද (16) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම චීන ජාතිකයන් පිරිස අද (16) දින අලුයම 12.25ට චීනයේ කුංමිං නුවර සිට, චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6912 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් සිය සිරුරෙහි සහ ඇදුම් තුළ සෙලෝටේප් යොදා, පාවිච්චි කළ ජංගම දුරකථන 383 ක් , ටැබ් පරිගණක 101 ක් සහ වයිෆයි රවුටර් 06 ක් සගවා ගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.