කිලෝ 12කට වැඩි කුෂ් සමඟ කතුන් දෙදෙනෙක් ඇතුළු තුනක් ගුවන්තොටේදී අල්ලයි

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 ග්‍රෑම් 160ක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (07) අලුයම් කාලයේ ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 42ක තැනැත්තෙක් වන අතර, සැකකාරියන් අවුරුදු 22 හා 43 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයන් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් අද (07) අලුයම් කාලයේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මෙම සැකකරුවන් තිදෙනා අද (07) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.