කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේත් CCTV දර්ශන පටිගත වී නැති බව හෙළිවෙයි

අබිරහස් ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේ ද සී.සී.ටී.වී දර්ශන පටිගත වී නොමැති බවට විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශය අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (19) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය මේ බව දැනුම් දෙනු ලැබුවා.

කොළඹ අපරාධ කොට්ඨාශය නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ, මරණය සිදුවූ නිවසට රථ ගාල් දෙකකින් ඇතුල්වීමට හැකියාව තිබුණ ද සී.සී.ටී.වී දර්ශන පරීක්ෂාවේ දී 2026 වසරේ මැයි මස 05 වනදා සහ 2026 වසරේ මැයි මස 07 වන දා අතර කාලසීමාව තුළ කිසිදු බාහිර පුද්ගලයකු එම නිවසට ඇතුළු වී නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඊට අමතරව මරණකරු පදිංචි වී සිටි නිවසේද සී.සී.ටී.වී යන්ත්‍ර පරීක්ෂාවට ලක් කළ බවත් එම සී.සී.ටී.වී යන්ත්‍රවල ද දර්ශන පටිගත වී නොමැති බවට කරුණු අනාවරණය වී ඇති බවද පොලීසිය එහිදී සඳහන් කරා.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පොලීසිය මරණකරු පදිංචිව සිටි නිවසේ මෙන්ම මරණය සිදුවූ නිවසේ තිබූ සී.සී.ටී.වී කැමරාවල ද දර්ශන පටිගත වී නොමැති බව සඳහන් කරා.

අනුව අදාළ සී.සී.ටී.වී කැමරා සවිකළ සමාගමේ ඉංජිනේරුවරයා අද දින සාක්ෂියට කැඳවා තිබෙන බවත් පොලීසිය සඳහන් කළා.

මරණකරු පදිංචිව සිටි නිවසේ සහ මරණය සිදුවූ නිවසේ සී.සී.ටී.වී කැමරා පද්ධතිවලට අදාළ ඩී.වී.ආර් යන්ත්‍ර පොලීසිය භාරයට ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට අවසර දෙන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

වැඩිදුටරත් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් හඳුනා නොගත් ඖෂධ වර්ග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කටයුතු කරන බව සඳහන් කළා.

එම ස්ථානයේ තිබී සොයා ගත් නාඳුනන ඖෂධ පෙති වර්ග දෙකක් තිබූ බවත් එක් වර්ගයක ඖෂධ පෙති 09 ක් සහ තවත් වර්ගයක ඖෂධ පෙති 11ක් තිබූ බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

තවදුරටත් කරුණු දැක්වූ පොලිසිය මරණකරු සහ නිවසේ සේවක සේවිකාවන් අතර සිදු වූ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට ඉකුත් දිනයේ නියෝග ලබා ගෙන තිබුණද, ප්‍රමාණවත් කාලයක් නොතිබීම නිසා ඒවා ලබා ගැනීමට නොහැකි වූ බවත් ඒ අනුව යළි දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඒ සඳහා නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළා.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා පොලීසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් “මෙම සාක්ෂි විභාගයේදී මරණකරුට ඇප තැබූ පුද්ගලයින් දෙදෙනෙකු ගැන තොරතුරු අනාවරණය වුණා. ඒ අය සාක්ෂියට කැඳවන්නේ නැද්ද? ” යනුවෙන් ප්‍රශ්න කරා.

ඊට පිළිතුරු දෙමින් පොලීසිය සඳහන් කළේ ” ස්වාමීනි ඒ අයගෙන් තවම ප්‍රකාශ සටහන් කරගන්න බැරි වුණා.” යනුවෙන්.

නැවතත් පොලීසිය ඇමතු මහෙස්ත්‍රාත්වරයා ” ප්‍රකාශ සටහන් කරගන්න බැරිවුනා කියලා සාක්ෂි කැඳවන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඒ අයවනේ කලින් සාක්ෂියට කැඳවන්න ඕන. ප්‍රකාශ සටහන් කර ගත්තේ නැත්නම් විමර්ශනය කරන්නේ කොහොමද?” යනුවෙන් ප්‍රශ්න කරා.

ඒ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියා සඳහන් කළේ ” ස්වාමීනි… මේ ඇපකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙන්නේ”

ඊට ප්‍රතිචාර දැක්වූ මහෙස්ත්‍රාත්වරයා “රිමාන්ඩ් බාරයට පත් කරල තියෙන්නෙ ඒ ඇපකාරයෝ දෙන්න නෙවෙයිනේ. රිමාන්ඩ් භාරයට පත් කරල තියෙනව නම් ප්‍රකාශයක් ගන්න තවත් ලේසියිනේ. මගෙන් නියෝගයක් අරගෙන ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්” යනුවෙන් පවසා සිටියා.

අද දින සාක්ෂි කැඳවීම සඳහා සාක්ෂිකරුවන් කීපදෙනෙකුම කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට කැඳවා තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහෙස්ත්‍රාත්වරයා “අද සාක්ෂියට කිහිපදෙනෙකුම කැඳවා තිබෙනවා. ඒ හැම කෙනාගේම සාක්කි අද ගන්න බැහැනේ. අනවශ්‍ය අය මුදා හරින්න කටයුතු කරන්න. සාක්ෂිකරුවන් අතර පොලිස් නිලධාරිනුත් ඉන්නවා. ඒ අය රඳවා ගැනීම සුදුසු නෑ” යනුවෙන් සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා මෙම මරණයට අදාළ සාක්ෂි විමසීම පසුව සිදු කරන බවත් සඳහන් කර නඩුවේ සාක්ෂි විභාගය පසුවට කල් තැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36