එප්පාවල පාසලක් තුළ පිහි ප්‍රහාරයක් – සිසුන් පහක් රෝහලේ

එප්පාවල නගරයේ පිහිටි ප්‍රධාන පාසලක් තුළ දී සිසුවෙක් විසින් තවත් සිසුන් පස් දෙනෙකු තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් එම සිසුන් පස්දෙනා රෝහල් ගතකර තිබෙනවා.

ඔවුන්ව එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස කැපුම් තුවාල ලබා ඇත්තේ එම පාසලේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ උසස් පෙළ තාක්ෂණ අංශයේ සිසුන් 05 දෙනෙක්.

පිහි ප්‍රහාරය එල්ල කර ඇත්තේ ද එම පාසලේම 12 වන ශ්‍රේණියේ විද්‍යා අංශයේ සිසුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

පිහි ප්‍රහාරය එල්ල කළ සිසුවා සහ තුවාල ලැබූ සිසුන් පස්දෙනා අතර සිටින එක් සිසුවෙකු අතර මීට දින කීපයකට පෙර ගැටුමක් හටගෙන තිබෙනවා.

ඊට පලිගැනීමක් ලෙස අද (13) පාසල තුළ දී අදාළ සිසුවා විසින් අනෙක් සිසුවාට මෙලෙස පිහි ප්‍රහාරය එල්ල කර ඇති අතර, එය බේරීමට ගිය තවත් සිසුන් හතර දෙනෙකුට ද එම සිසුවා පිහි ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රහාරය එල්ල කළ සිසුවා ඊට යොදාගත් තියුණු ආයුධය ද (කුඩා පිහියක්) සමඟ එප්පාවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසීය පරීක්ෂණ සිදුකරනු ලබනවා.