පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියන් තිදෙනා සහ ඔහුගේ Pakistan Tehreek-e-Insaf – PTI පක්ෂයේ ක්‍රියාකාරීන් රඳවා ගැනීම මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව Amnesty International චෝදනා කරනවා.
ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා PTI පක්ෂය සැප්තැම්බර් 27 වැනිදා ඉස්ලාමාබාද් අගනුවර දක්වා විරෝධතා පාගමනක් පැවැත්වීමට සැලසුම් කර ඇති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව තිබෙනවා.
Amnesty International දකුණු ආසියා නියෝජ්‍ය කලාපීය අධ්යක්ෂ බාබු රාම් පන්ට් පවසන්නේ මෙම ක්‍රියාමාර්ග මගින් පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සංගම්ගත වීම සහ සාමකාමීව රැස්වීමේ අයිතිය උල්ලංඝනය වන බවයි. සැලසුම් කළ විරෝධතාවක් ආරම්භ වීමටත් පෙර එය ප්‍රචණ්ඩකාරී බවට තීරණය කළ නොහැකි බව ද Amnesty පෙන්වා දෙනවා.
සැප්තැම්බර් 20 වැනිදා ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියක වන අලීමා ඛාන්, Punjab Maintenance of Public Order Ordinance යටතේ දින 30කට පරිපාලන රැඳවුම් භාරයට පත්කර තිබෙනවා. අනතුරුව ඔහුගේ අනෙක් සොහොයුරියන් වන නොරීන් නියාසි සහ උස්මා ඛාන් ද රඳවාගෙන ඇති බවයි Amnesty නිවේදනයේ සඳහන් වන්නේ.
ඉම්රාන් ඛාන්ගේ ඥාතීන් කිහිපදෙනෙකු ද කෙටි කාලයක් රඳවාගෙන පසුව නිදහස් කර ඇති අතර, PTI පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ ක්‍රියාකාරීන් බොහෝ පිරිසක්ද අත්අඩංගුවට ගෙන ඇති බව පක්ෂය ප්‍රකාශ කර තිබෙනවා. පන්ජාබ් ප්‍රදේශයේ ඇතැම් PTI ක්‍රියාකාරීන් විරෝධතාවට සහභාගි නොවන බවට දිවුරුම් ප්‍රකාශ ලබාදීමෙන් පසු නිදහස් කර ඇති බව ද Amnesty සඳහන් කරනවා.
මේ අතර ඉස්ලාමාබාද් මහාධිකරණය ප්‍රකාශ කර ඇත්තේ කිසිදු දේශපාලන පක්ෂයකට පොදු මාර්ග, අධිවේගී මාර්ග හෝ රජයේ ගොඩනැගිලි අත්පත් කරගැනීමට අයිතියක් නොමැති බවයි. සැප්තැම්බර් 27 වැනිදා කිසිදු කණ්ඩායමකට ඉස්ලාමාබාද් නගරයට ඇතුළුවීමට ඉඩ නොදෙන බව පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ද ප්‍රකාශ කර තිබෙනවා.
වසර තුනක් තිස්සේ බන්ධනාගාරගතව සිටින ඉම්රාන් ඛාන් නිදහස් කිරීම මෙන්ම ඔහු රඳවා සිටින කාලය තුළ ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාර සහ පවුලේ සාමාජිකයන් හා නීතිඥයන් හමුවීමට නිතිපතා අවස්ථාව ලබාදීම සැප්තැම්බර් 27 විරෝධතාවේ ප්‍රධාන ඉල්ලීම් අතර වනවා.
ඉම්රාන් ඛාන්ගේ ඥාතීන් සහ PTI ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙස Amnesty International පාකිස්ථාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.













