spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියානු රුපියලෙන් වැඩ ගැනීමට ලංකාවටත් ඉඩ ලැබෙයි

රුසියාව,මොරිෂස් සහ ශ්‍රී ලංකාව සමඟ සිය රුපියල භාවිත කරමින් වෙළඳාමට පහසුකම් සලසා ඇති ඉන්දීය රජය, තවත් රටවල් ගණනාවක් සමඟ එවැනි අවස්ථා ගවේෂණය කරන ලෙස වෙළඳ ආයතන සහ බැංකුවලින් ඉල්ලා ඇති බව ඉන්දීය මහ බැංකුවේ මුලාශ්‍ර උපුටා දක්වමින් එරට ජනමාධ්‍ය වාර්තා කරයි.

ඒ, අනුව ඉන්දියානු බැංකු දැනටමත් ඉන්දියානු රුපියලේ වෙළඳ විධිවිධානය ක්‍රියාත්මක කරමින් මෙම රටවල් තුනේ බැංකු සමඟ විශේෂ රුපියල් වොස්ට්‍රෝ ගිණුම් (SRVA) විවෘත කර ඇත.

මෑතකදී, ඉන්දියානු රාජ්‍ය බැංකුවේ අනුබද්ධ ආයතනයක් වන SBI Mauritius Ltd සහ ශ්‍රී ලංකා මහජන බැංකුව SRVA ගිණුම් විවෘත කර තිබේ.

මීට අමතරව, ලංකා බැංකුව චෙන්නායි හි ඉන්දියානු අනුබද්ධිත ආයතනයක ගිණුමක් විවෘත කර තිබේ.

තව ද ඉන්දීය යුනියන් බැංකුව රුසියාවේ රොස් බැංකුවේ විශේෂ රුපියල් ගිණුමක් විවෘත කර ඇති අතර, චෙන්නායි හි පිහිටි ඉන්දියන් බැංකුව කොළඹ පිහිටි එන්ඩීබී බැංකුව සහ සෙලාන් බැංකුව ඇතුළු ශ්‍රී ලංකාවේ බැංකු තුනක එවැනි ගිණුම් විවෘත කර ඇත.

ඉන්දියානු සංචිත බැංකුවේ (RBI) අනුමැතිය ලැබීමෙන් පසු රුසියාවේ 2ක් සහ ශ්‍රී ලංකාවේ එකක් ඇතුළුව බැංකු 11ක් විසින් එවැනි විශේෂ රුපියල් ගිණුම් 18ක් විවෘත කර ඇත.

ඉන්දියානු සංචිත බැංකුවේ විසින් 2022 ජූලි මාසයේ දී දේශීය මුදලින් (ඉන්දීය රුපියල) විදේශයන් සමග වෙළඳාම් ගනුදෙනු සිදුකරන ආකාරය පිළිබඳ සවිස්තරාත්මක මාර්ගෝපදේශ නිකුත් කරන ලදී.

මෑත කාලීන වාර්තාවලට අනුව රුපියල් වොස්ට්‍රෝ ගිණුම් (SRVA) හරහා ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීම සහ දේශීය ගෙවීම් ක්‍රම ජාත්‍යන්තරකරණය කිරීමේ සැලසුම්වල කොටසක් ලෙස, තවත් රටවල් ගවේෂණය කර මෙම යාන්ත්‍රණය ස්ථාපිත කරන ලෙස මුදල් අමාත්‍යාංශය සියලුම ඉන්දීය බැංකුවලින් ඉල්ලීමක් කර තිබේ.

අප මේ කතාකරන්නේ කුමක් ගැනද? මේ අන් කිසිවක් නොව ශ්‍රී ලංකාවට ද අවස්ථා රැසක් සලසමින් ඉන්දියාව මෑතකදී ගනු ලැබූ අතිශය වැදගත් පියවරක් පිළිබඳවය.

එනම් එක්සත් ජනපද ඩොලරය වෙනුවට අන්තර්ජාතික ගනුදෙනු වලදී ඉන්දීය රුපියල භාවිත කිරීම සඳහා ලොව වෙනත් රටවල් උනන්දු කරවීමේ ව්‍යාපෘතියයි.

ඇත්තෙන්ම ඩොලර හිඟය හෝ ඩොලරය සමඟ ගනුදෙනු කිරීමේදී ගැටළු පැනනැගී ඇති රටවල් සමග සිය ගනුදෙනු පහසු කරගැනීමට මෙන්ම අදාළ අනෙක් පාර්ශවිය රටේ මූල්‍ය පීඩනය අවම කිරීම එම ව්‍යාපෘතියේ අරමුණවී ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්කළ, ඩොලරයට විකල්පව මෙම නව විදේශ විනිමය මාධ්‍යය හෙවත් ඉන්දීය රුපියල ගනුදෙනු වෙනුවෙන් භාවිත කළ හැකි වන්නේ මේ ආකාරයටය.

ඒ අනුව ඉන්දියාව ශ්‍රී ලාංකික පුරවැසියන්ට භෞතික ස්වරූපයෙන් ඉන්දියානු රුපියල් වලින් ඩොලර් 10,000 (ඉන්දියානු රුපියල් ලක්ෂ 8.14) දක්වා සිය සන්තකයේ තබා ගැනීමට අවසර ලබාදී තිබේ.

මීට සති දෙකකට පමණ පෙර ඉන්දීය ජනමාධ්‍ය ඔස්සේ ඒ බව අනාවරණය කෙරිණි.

එය සන්තකය සම්බන්ධයෙන් පමණකි.

ඊට අමතරව, ඉන්දීය රුපියල්(INR) මුදල් ඒකකය, ලොව වෙනත් රටවල මුදල් බවට පරිවර්තනය කිරීමට මෙ මඟින් ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබේ.

එය පැහැදිලිවම ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වෙළඳාමේ සිරවී ඇති ස්ථාන සක්‍රීය කරවීමට පැහැදිලි උපකාරයකි.

ඊට සමගාමිව මේ වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල ඇතුළු තවත් විදේශීය මුදල් ඒකක 15කට වැඩි සංඛ්‍යාවක් අන්තර්ජාතික වෙළඳාමේදී භාවිත කිරීම වෙනුවෙන් සිය සන්තකයේ තබාගැනීමට ශ්‍රී ලාංකිකයන්ට අවසර ලබාදී ඇත.

ඒ රට තුළ පවතින බරපතල එක්සත් ජනපද ඩොලර් හිඟයට පිලියමක් ලෙසිනි.

ඒ, අනුව මෙලෙස සිය මුදල් ඒකකය සම්බන්ධයෙන් ලබාදී ඇති නව අනුමැතියෙන් අදහස් වන්නේ, ශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති ඉන්දීය රුපියල්, ඉදිරියේදී ඉන්දියාව සමග සිදුකරන සියලුම ආකාරයේ ආනයන අපනයන ඇතුළු වෙළඳ ගනුදෙනු සඳහා, එක්සත් ජනපද ඩොලරය වෙනුවට භාවිත කළ හැකි බවයි.

ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය වන ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු වන හෙයින්, මෙය ශ්‍රී ලංකාව මුහුණදී සිටින දැවන්ත ආර්ථික අර්බුදය හමුවේ මෙරටට ඇති විශාල සහනයක් වනු නොඅනුමානය.

රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව බටහිර රටවල් විසින් රුසියාවට සම්බාධක පනවනු ලැබීය.

එම සම්බාධකවල එක ස්වරුපයක් වූයේ ලොව ප්‍රකටම ‘ස්විෆ්ට්'(SWIFT) වැනි අන්තර්ජාතික බැංකු හරහා මුදල් හුවමාරු කිරීමේ ක්‍රමවේදය භාවිත කිරීමට රුසියාවට තහනම් කිරීමයි.

ඒ, අනුව එක්සත් ජනපද ඩොලර් භාවිතයෙන්, වෙනත් රටවල් සමග සිදුකරන වෙළඟ ගනුදෙනු තවදුරටත් පවත්වාගෙනයෑම රුසියාවට සහ රුසියාව සමග ගනුදෙනු කරන රටවලට දුෂ්කරවී ඇත.

ඉන්දියාව යනු රුසියාව සමග ආනයන අපනයන විශාල ලෙස සිදුකරන ප්‍රමුඛ වෙළඳ හවුල්කරුවෙකි.

ඉන්දියාව මෙලෙස සිය මුදල් ඒකකය වන ඉන්දීය රුපියල (INR) අන්තර්ජාතික මුදල් ඒකකයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේද මෙම රුසියාවට පනවා ඇති සම්බාධක යැයි පැවසීම අසත්‍යයක් නොවේ.

ඉන්දියාවට රුසියානු යුද්ධය නිසා සිය රටේ ආර්ථිකය අදාළ කරගැනීමට අවශ්‍ය නැත.

ඒ අනුව සෘජුව ඉන්දියාව මෙලෙස සිය රුපියල හරහා දැන් අන්තර්ජාතික වෙළඳාම ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරයි.

පසුගිය ජූලි මාසයේ ඉන්දීය සංචිත බැංකුව මේ සඳහා අනුමැතිය ලබාදීමෙන් අනතුරුව, විශේෂ රුපියල් වොස්ට්රෝ ගිණුම් (SRVA) විවෘත කිරීම සඳහා ඉදිරිපත් වූ පළමු විදේශීය බැංකු වන්නේ ද පිළිවෙලින් රුසියාවේ විශාලතම සහ දෙවන විශාලතම බැංකු දෙක වන Sberbank සහ VTB ය.

ඒ අනුව ඉන්දීය සංචිත බැංකුවේ මාර්ගෝපදේශයන්ට අනුකුලව, රුපියලෙන් ඉන්වොයිසි කිරීම, ගෙවීම සහ අපනයන/ආනයන පියවීම සඳහා අමතර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එම බැංකු තීරණය කළේය.

මීට අමතරව ඉන්දියාවේ ශාඛාවක් නොමැති තවත් රුසියානු බැංකුවක් වන Gazprombank ද, කොල්කටා හි පිහිටි UCO බැංකුව සමඟ මෙම ගිණුම විවෘත කර ඇත.

මෙම පියවරත් සමග එක්සත් ජනපදය සහ බටහිර රටවල් විසින් රුසියාවට පැනවූ සම්බාධක, ඉන්දීය-රුසියා වෙළඳ ගනුදෙනු සඳහා ඇති කෙරුණු බාධාවන් බොහෝසෙයින් ඉවත් කරනු ලැබීය.

මෙම වාසිය ශ්‍රී ලංකාවට අත්කර ගැනීම සම්බන්ධයෙන් සළකා බලන විට, මේ වන විට ශ්‍රී ලංකා රුපියල ඇත්තේ ඉන්දීය රුපියලට සාපේක්ෂව 0.22ක අගයකය.

එනම් ඉන්දීය රුපියලක් වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් 4.43ක් ගෙවිය යුතුය.

මෑත කාලීනව ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස අවප්‍රමාණය වූ නමුත් ඉන්දීය රුපියල සම්බන්ධයෙන් ගත්කළ එහි බලපෑම ඩොලරය තරම් අතිමහත් නොවේ.

එමනිසා ආනයන අපනයන ක්‍රියාවලියේදී ඉන්දීය රුපියල ශ්‍රී ලංකාව වෙනුවෙන් සැලකිව යුතු කාර්යභාරයක් ඉදිරියේ දී ඉටුකරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

එසේම තවදුරටත් ඩොලර් හිඟකම නිසා ඉන්දියාවෙන් සිදුකෙරෙන ආනයන ප්‍රමාද වීමේ ගැටළුවට ද මෙමගින් සැලකිවයුතු පහසුවක් හිමිවේ.

ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දෙසැම්බර් 15 වනදා නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන වලට අනුව මෙම වසරේ තෙවන කාර්තුවේ දී මෙරට ආර්ථිකය සියයට 11.8කින් සංකෝචනය වී තිබේ.

එය 2023 වසර ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට සුබදායක පණිවිඩයක් නොවේ.

ඒ අනුව නව වසර වෙනුවෙන් ඩොලර් සංචිත තවදුරටත් ශක්තිමත් කරගත යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම දේශපාලනඥයන් ද දිගින් දිගටම පෙන්වාදෙමින් සිටී.

එසේ ඩොලර් සංචිත ශක්තිමත් කිරීමට සමගාමීව, ශ්‍රී ලංකාවට සිය ප්‍රධානතම වෙළද පාර්ශවකරුවකු වන ඉන්දියාව විසින් ආනයන අපනයන වෙනුවෙන් ලබාදී ඇති මෙම සහනයේ වටිනාකම මෙතෙකැයි කිව නොහැකිය.

දැන් ශ්‍රී ලංකාවේ වගකීම වන්නේ එම සහනය නිසිපරිදි කළමනාකරණය කර ගනිමින් සිය මූල්‍ය හිඟයේ මුලික හිස්තැන් පුරවා ගැනීමට කටයුතු කිරීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?