ආධාර තොගයක් රැගෙන චීනයෙන් දැවැන්ත ගුවන් යානයක් කටුනායකට (ඡායාරූප)

මෙරට ආපදාවට පත් වී සිටින ජනතාව වෙනුවෙන් චීන ජනරජය විසින් පරිත්‍යාග කළ ආධාර තොගයක් රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

බෝයිං B747 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මෙම ආධාර තොගය මෙරටට රැගෙන ආ අතර, චීනයෙන් එලෙස හිමිවූ ආධාර තොගයේ වටිනාකම රුපියල් මිලියන 400ක්.

කිලෝ ග්‍රෑම් 84,525 ක් බරැති මෙම ආධාර තොගයේ ජීවිතාරක්ෂක කබා, කූඩාරම්, බ්ලැන්කට්, ඇද ඇතිරිළි ඇතුළු තවත් භාණ්ඩ රැසක් පවතිනවා.

චීනයේ සිට රැගෙන ආ ආධාර තොගය භාරගැනීමට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී චැන්ග් හොන්ග් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.