අස්වැසුම සුබසාධන වැඩසටහනට අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා.
ඒ, අනුව අද (10) පස්වරුව දක්වායි එම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත්තේ.
මේ වනවිට අස්වැසුම සුබසාධන වැඩසටහනට අදාළව අභියාචනා ලක්ෂ 09කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති අතර, විරෝධතා 12,000කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
අස්වැසුම සුබසාධන වැඩසටහනට සම්බන්ධ නාම ලේඛනය පසුගිය දා ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙම සුබසාධන වැඩසටහනට විරෝධය පළ කරමින් දිවයින පුරා විරෝධතා ආරම්භ වුණා.
ඒ, මෙම සුබසාධන වැඩසටහනට ඇතුළත් විය යුතු පුද්ගලයින්ගේ නම් අදාළ ලැයිස්තුවෙන් කපා දමා ඇති බවත්, සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමට අවශ්‍යතාවක් නොමැති පුද්ගලයින් රැසක් එම නාම ලේඛනයට ඇතුළත් කර ඇති බව පවසමින්.
එම විරෝධතා හමුවෙයි රජය විසින් අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට අද (10) දිනය දක්වා කල් ලබා දුන්නේ.
මේ අතර ඉදිරි වසර සඳහා නව අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීම වෙනුවෙන් ලබන අගෝස්තු මාසයේ දී යළි අයදුම්පත් කැඳවීමක් සිදුකරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ.













