මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර වීදී සංචාරය කරන අතරතුර දී ශ්‍රී දළදා
මාලිගාවට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් යොමුකර ඡායාරූප ගැනීමට උත්සහා කළ පුද්ගලයෙකු මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අදාළ ඩ්‍රෝන කැමරාව පියාසර කරනු නිරීක්ෂණය වීමෙන් පසු ඩ්‍රෝන ජෑමරය උපයෝගී කර ගනිමින් එය පහත හෙළීමට ගුවන් හමුදාව කටයුතු කර ඇති බවයි.
ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි කිරීමකින් පසු එම ඩ්‍රෝන කැමරාව දළදා මැදුරට නුදුරින් පිහිටි හෝටල් පරිශ්රයක තිබී සොයා ගෙන තිබෙනවා.
එම ස්ථානයෙන් සැක කටයුතු ලෙස ගමන් ගත් මෝටර් රථයක් සම්බන්ධයෙන් ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් මහනුවර පොලීසියට කළ දැනුම්දීමකින් අනතුරුව අදාළ මෝටර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.
මහනුවර පදිංචි 47 හැවිරිදි ඡායාරූප ශිල්පියෙකු ඡායාරූප ලබා ගැනීමේ අරමුණින් මෙම ඩ්‍රෝන කැමරා ගුවන්ගත කර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.
අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරා ගුවන්ගත කළ නොහැකි බවත්; ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කලාපයට එවැන්නක් යොමු කිරීම බරපතළ ගැටලු ඇති කරන්නක් බවත් පොලීසිය සඳහන් කළා.
මේ අතර තුන්වන රන්දෝලි පෙරහර දින ද මහනුවර වැව රවුමේ සිට තරුණයින් දෙදෙනෙකු ඩ්‍රෝන
කැමරාවක් පෙරහර සීමාවට යොමු කර තිබිය දී ගුවන් හමුදා නිලධාරීන් විසින් එය බිම
හෙළා අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගැනුණු බව ද වාර්තා වුණා.













