අවලෝකිතේශ්වරට රට ගමන් තහනමක් (වීඩියෝ)

අවලෝකිතේෂ්වර බෝධි සත්ව වශයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ කොටුව මහේස්ත්‍රා තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම පුද්ගලයාගේ බැංකු ගිණුම් පිළිබඳ පරික්ෂා කර වාර්තාවක් කැඳවීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඇතුළු භික්ෂූන් වහන්සේලා කීප නමක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවයිළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා,

” ස්වාමීනී… පසුගිය 01 වනදා මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයෙකු අවලෝකේතීෂ්වර බෝධිසත්වයින් වශයෙන් පෙනී සිටිමින් ශ්‍රි ලංකාවට පැමිණියා. ඔහු පැමිණියේ ඊජිප්තුවේ සිටයි. පසුව ඔහු කෙළින්ම ගමන් කළේ කැලණිය විහාරයට. එම ගමන සඳහා ඔහු යොදාගත්තේ “ලිමෝසින්’ වර්ගයේ සුපිරි මෝටර් රථයක්. පසුව මේ පුද්ගලයා කැලණිය විහාරයේදී ධර්ම දේශනයක් සිදුකර තිබෙනවා. මුදලට ගෙන්වා ගත් පිරිසක් යොදවා ගෙන වැඳුම් පිඳුම් ද ලබා තිබෙනවා. දැන් මේ පුද්ගලයා උපාසිකාවන්ගෙන් රුපියල් දස දහසක් වැනි මුදලක් ලබාගෙන නිවාසවලට ගොස් ධර්මය දේශනා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා. ස්වාමීනී.. පුද්ගලයෙකු යම්කිසි දර්ශනයක් ඇදහීම පිළිබඳ අපට ගැටළුවක් නැහැ. මේ පුද්ගලයා ඉදිරිපත් කරන කරුණු අතිශය භයානකයි. ආගමික දේශනයක් නිසා සියදිවි නසා ගැනීම් මාලාවක් පසුගියදා හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වුණා. මේ පුද්ගලයා තම දියණිය දූෂණය කළ බවත් ප්‍රකාශ කර තිබෙනවා. මොහු ළමා අපචාර නඩුවකට පාත්‍ර විය හැකි පුද්ගලයෙක්. බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරන බවට අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ මෙවැනි ක්‍රියා දෙස බලා සිටීම ඉතා භයානකයි ” යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනාල්වරයා දණ්ඩ නිති සංග්‍රහය යටතේ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියාසිටියේ මෙම පුද්ගලයා විසින් දේශනය කරනු ලබන කරුණුවල අන්තර්ගත භයානක තොරතුරු රාශියක් පවතින බවයි.

“ස්වාමීනි.. මහසත් බෝසත්වරයා සද්ධර්ම පුණ්ඩලික සූත්‍රය ශ්‍රවණය කර ඊට පූජෝපහාර ලෙස කල්ප අසූවක් ශරීරය දල්වා සිටි බව මෙම පුද්ගලයා සිය දේශනවල සඳහන් කරනවා. ශරීරය ගිනි තබා තිබුණා කියලා කියනවා. තමන්ගේ ආත්මය බුදුන්ට පූජාවක් ලෙස ගිනි තබා ගත්තා කියලත් කියනවා. ” මම කියන්නෙත් එහෙම කරන්න කියලා.” යනුවෙන් දේශනා කරනවා.” මේක භයානක ප්‍රකාශයක් වෙනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා යශෝධරා දේවියට ද මේ පුද්ගලයා අතිශය දරුණු අපහාසයන් සිදුකර තිබෙන බවත් කියා සිටියා.

“ස්වාමීනි…” යශෝධරා වගේ කාලකන්නි කමට හැදෙන පිරිවරක් ඉන්නවා. පෙර ජන්මවලදී කිසිදාක බුදුන් කියලා පිළිගත්තේ නෑ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අරන් ආවායින් පස්සේ පිළිගන්න සිද්ධ වෙනවා” යනාදී වශයෙන් යශෝධරාවන්ටද අපහාසාත්මක ප්‍රකාශ සිදු කර තිබෙන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම පුද්ගලයා නඩු හබ විසඳලා දෙන බවත් සඳහන් කරන අතර නීතිපතිවරයා පරිස්සම් විය යුතු බවත් සිය දේශන වලින් සඳහන් කර තිබෙන බව ප්‍රකාශ කළා.

මෙහිදී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රශ්නයක් මතු කරමින් විමසා සිටියේ මෙම පුද්ගලයා පිටුපස සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබේද යන්නයි.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා,

” ස්වාමීනි… මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරගෙන යනවා. අවාසනාවන්ත තත්ත්වයක් තමයි බඩල්ගම පොලිසියේ සේවය කරන පුණ්‍යසිරි නැමැති සැරයෙන්වරයෙක් මෙම පුද්ගලයාට සහාය වන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා. කැලණිය විහාරයේ පැවැති ධර්ම දේශනාව සංවිධානය කිරීමට මේ පුද්ගලයා සහාය වී තිබෙනවා.” යනුවෙන් කියා සිටියා.

වැඩිදුරටත් කරුණු දක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා සාක්ෂි මෙහෙයවීමට දිනයක් ලබා දෙන ලෙසටයි.

එම ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊට අදාළ සාක්ෂි මෙහෙයවීම සඳහා පැමිණිල්ල නැවත ලබන 17 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්