අතිපූජ්‍ය ගල්බොඩ ඥානිස්සර හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය අද පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

අපවත් වී වදාළ අතිපූජ්‍ය ආචාර්‍ය ගල්බොඩ ඥානිස්සර හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය අද (05) පස්වරුවේ පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

ගංගාරාමේ පොඩි හාමුදුරුවන් යන අන්වර්ථ නාමයෙන් කා අතරත් ජනප්‍රිය ව සිටි විහාරාධිපති හිමියන් දීර්ඝ කාලයක සිට රෝගාතුර ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූයේ පසුගිය සතියේ සිකුරාදා දිනයේ දී යි.

උන්වහන්සේගේ දේහය පිළිබඳ ව අවසන් කටයුතු අද පස්වරු 4.30ට පූර්ණ රාජ්‍ය ගෞරව සහිත ව සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

ඒ හුණුපිටිය ගංගාරාම පුරාණ රජමහා විහාරස්ථානයේදීයි.

මේ වනවිටත් සර්ව ආගමික නායකයින් සේ ම ප්‍රභූවරුන් ද සිවිල් ප්‍රජාව ද උන්වහන්සේට අවසන් ගරු බුහුමන් දැක්වීමට විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටිනවා.

ආදාහන පූජෝත්සවය හේතුවෙන් අද පස්වරු 02 සිට එම අවට මහා මාර්ගය විශේෂ රථ වාහන සැලැස්මක් මත ක්‍රියාත්මක වනු ඇති.