ස්පා සේවිකාවකගේ ලක්ෂ 13කට විද්ද අයකැමියා අත්අඩංගුවට

සම්භාහන මධ්‍යස්ථානයක සේවිකාවකගේ බැංකු කාඩ්පත සොරකම් කර එමගින් රුපියල් දහතුන් ලක්ෂ දහනවදහසක මුදල් ලබාගත් පුද්ගලයකු කොල්ලුපිටිය පොලිසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම සම්භාහන මධ්‍යස්ථානයේම අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයකු බව කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරයි.කොල්ලුපිටිය ආර්.ඒ.ද මැල් මාවතේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරන හැටන් ප්‍රදේශයේ පදිංචි තරුණියක් පසුගියදා (21) කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණේ තම බෑගයේ මුදල් පසුම්බියේ තිබූ බැංකු කාඩ්පත සොරාගෙන ඇති බවටය.

කොල්ලුපිටිය පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අදාළ බැංකු කාඩ්පතින් අවස්ථා 15කදීම මුදල් ලබාගෙන තිබෙන බවට අනාවරණය කරගෙන ඇත.ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ කරන ලද වැඩිදුර විමර්ශනවලදී මෙය සිදුකර ඇත්තේ සම්බාහන මධ්‍යස්ථානයේ මුදල් අයකැමි ලෙස කටයුතු කරන පුද්ගලයා බවට අනාවරණය කරගෙන තිබෙන අතර මේ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.