වීදි සුනඛයින්ට ඩිජිටල් චිපයක් ශරීරගත කිරීම හෝමගමින් අරඹයි

වීදි සුනඛයින් සදහා ඩිජිටල් චිපයක් ශරීරගත කර දත්ත ලබා ගැනීම , එම සතුන් එක්රැස් කර එන්නත් ලබා දීම සහ වීදි සුනඛ ගැහැණු සතුන් වන්ද්‍යාකරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් හෝමගම ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස එම වීදි සුනඛයින්ගේ ශරීරය තුළට මයික්‍රෝ චිපයක් ඇතුළත් කිරීමෙන් එම සතුන් සපා කෑමකදී හෝ වෙනත් අවශ්‍ය අවස්ථාවකදී සතාට එන්නත් කර තිබේද සතාගේ තත්වය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ප්‍රාදේශීය සභාව මගින් ලබා ගත හැකියාව පවතිනවා.

මෙරට සුනඛ සපා කෑම් ඇතුලු සුනඛයින්ගේ විවිධ පහර දීම් නිසාවෙන් වාර්ෂිකව ජල භීතිකා එන්නත් ලක්ෂ දෙකහමාරක් පමණ එන්නත් කරන බවත් වාර්ෂිකව සිදුවන 30% ක පමණ රිය අනතුරු වලට වීදි සුනඛයින් ද හේතුවක් වී ඇති බව සිදුකල සමීක්ෂණ වලදී හෙලි වී ඇති බව හෝමගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක පවසනවා.

එම ප්‍රමාණය මෙමඟින් අඩු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

හෝමාගම නගරය අවට දින හතක් පුරා මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම ⁣හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 91 මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.