විවාද දෙකක් ලබාගන්න කඩිනමින් මැදිහත් වෙන්න – පොහොට්ටු මහ ලේකම්ගෙන් සජිත්ට ලිපියක්

සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි ස්ථාන මාරු කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාද ලබාගැනීම සඳහා මැදිහත් වෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් විශේෂ ලිපියක් විපක්ෂ නායකවරයා වෙත යොමුකරමිනුයි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

පසුගිය කාලසීමාව තුළ මෙරට සම්බුද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේලාට එරෙහිව විවිධාකාරයේ ප්‍රචණ්ඩකාරී හා අපහාසාත්මක ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම සඳහා රාජ්‍යයට පවරා ඇති වගකීම පවා නොසලකා හරිමින්, නීතිය ක්‍රියාත්මක කරන ඇතැම් ආයතන වල ක්‍රියා කලාපයන් මෙන්ම වත්මන් ආණ්ඩුවට හිතවාදී සමාජ මාධ්‍ය අවකාශයන් තුළ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රචාරණයන් ද බරපතළ අවධානයට ලක්විය යුතු තත්ත්වයක පවතින බවයි ලේකම්වරයා අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම, පසුගිය කාල සීමාව තුළ වත්මන් ආණ්ඩුවට අවාසිදායක හෝ ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් ප්‍රශ්න කරමින් තීන්දු හා නියෝග ලබාදුන් අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීමට ලක්වීම සම්බන්ධයෙන් ද සමාජය තුළ බරපතළ සැක සංකා සහ ප්‍රශ්න කිරීම් මතුවෙමින් පවතින බවත් ඔහු මෙම ලිපිය මඟින් පවසා තිබෙනවා.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතුව කරුණු පැහැදිලි කිරීම අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය බවත්, එම කරුණු දෙකම මෙරට ආගමික සංහිදියාව, බුද්ධ ශාසනයේ ආරක්ෂාව, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි සෘජුවම බලපාන අතිශය වැදගත් ජාතික කාරණා බවයි අවධාරණය කරන්නේ.

ඒ, අනුව කඩිනමින් පාර්ලිමේන්තුවේදී විවාද දෙකක් ලබාගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස විපක්ෂ නායකවරයාගෙන් මහ ලේකම්වරයා ඉල්ලා සිටිනවා.

4