Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ලෝක බැංකු ණය වැඩසටහන යටතේ ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව ඉහළ දැමීමට අනුමැතිය

ආසියානු සංවර්ධන බැංකු හා ලෝක බැංකු මුල්‍යාධාර පහසුකම් යටතේ අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ලබන දුප්පත් සහ අන්ත දුප්පත් කාණ්ඩවලට අයත් පවුල් සවි බල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2025-10-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

මේ වන විට ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර යටතේ පවුල් 8,660ක් සඳහා අදාළ ප්‍රාග්ධන මුල්‍ය ප්‍රදාන ලබා දී එම බැංකුව විසින් ක්‍රියාත්මක කළ වැඩසටහන අවසන් කර තිබෙනවා.

ලෝක බැංකු ණය වැඩසටහනේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් පළමු අදියරේ දී දිස්ත්‍රික්ක 07ක පවුල් 4,900ක් සඳහා ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබා දී ඇති අතර, එහි දෙවන අදියරේදී දිස්ත්‍රික්ක 05ක මේ වන විට හඳුනාගනු ලැබ ඇති පවුල් 6,600ක් සඳහා ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්.

එම සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමේදී ලද අත්දැකීම් මත දැනට සවිබල ගැන්වීමේ පවුල් ඒකකයක් සඳහා ලබාදෙන මූල්‍ය ප්‍රදානය ඉහළ නැංවීමට සහ ව්‍යාපෘතියේ ගුණාත්මක භාවයට හානියක් නොවන පරිදි ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිලාභින් සංඛ්‍යාව ඉහළ නැංවීමට ලෝක බැංකුවේ එකඟතාව ලැබී තිබෙනවා.

ඒ අනුව, ලෝක බැංකු ණය වැඩසටහනේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ සවිබල ගැන්වීමට අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව 10,975 සිට 11,500 ක් දක්වා වැඩිකිරීමටත්, දැනට ලබා දෙන රුපියල් 150,000ක උපරිම ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන සීමාව එම ව්‍යාපෘතියේ දෙවන අදියරේදී හඳුනා ගනු ලබන සුදුසුකම්ලත් ප්‍රතිලාභී පවුල් සඳහා රුපියල් 200,000ක් දක්වා වන සේ වැඩි කිරීමටත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.