ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක්වන NVIDIA හි CEO චීන බුද්ධි අංශවල ඉලක්කයක් වෙලා ? – සමාගමෙන් විමර්ශනයක්

එක්සත් ජනපද තාක්ෂණික දැවැන්තයෙකු වන NVIDIA හි එහි ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං සැක සහිත චීන ඔත්තුකාරියක සමඟ සම්බන්ධතාවයක් පැවැත් වූ බවට වාර්තා වීමෙන් පසුව ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

NVIDIA අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කර ඇත්තේ ස්වාධීන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත කමිටුවක් සහ බාහිර නීති උපදේශකවරුන්ගේ සහාය ඇතිව මෙම විමර්ශනය සිදුකරන බවයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී මේ සම්බන්ධයෙන් වාර්තා පළ වූ අතර, අදාළ කාන්තාව බීජිං වෙත තොරතුරු ලබා දී ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ සැක පළකර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය චීනයේ හිටපු රූපවාහිනී මාධ්‍යවේදිනියක වන ඇලිස් හුවාං වන අතර, පසුව සිංගප්පූරුවේ පිහිටි Megaspeed නැමැති දත්ත මධ්‍යස්ථාන සමාගමේ ඉහළ විධායක තනතුරක් දරා තිබෙනවා.

එම සමාගම NVIDIA හි අග්නිදිග ආසියානු කලාපයේ ප්‍රධාන පාරිභෝගිකයෙකු වන අතර, පසුගිය වසර දෙක තුළ NVIDIA චිප්ස් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8කට අධික මුදලක් වැය කර ඇති බවට ද වාර්තා වනවා.

NVIDIA යනු ලොව විශාලතම සමාගම් වලින් එකක් වන අතර, නැගී එන AI තාක්ෂණයන් සඳහා දෘඩාංග සෑදීමේ කේන්ද්‍රීය සමාගමක් ලෙස සලකනු ලබන අතර, ජෙන්සන් හුවාං වසර 30 කට වැඩි කාලයක් එහි භාරව සිටිනවා.

මේ අතර මෙම විමර්ශනයට පූර්ණ සහාය ලබාදෙන බව ජෙන්සන් හුවාං ප්‍රකාශ කර ඇති අතර, ඔහු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයේ අඛණ්ඩව කටයුතු කරන බව NVIDIA සමාගම සඳහන් කරනවා.
.