ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුවේ සහ ජාතික විධායක සභාවේ සාමාජිකයකු වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
වාමාංශික දේශපාලනඥයෙකු, ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු මෙන්ම මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ජීවිත කාලයම කැප කළ විද්වතකු ලෙස ඔහු මෙරට සමාජ හා දේශපාලන ඉතිහාසයට එක් කළ මෙහෙවර අමතක කළ නොහැකි බවයි අග්‍රාමාත්‍යවරිය එහි සඳහන් කර ඇත්තේ.
වසර 85ක ජීවිත කාලය පුරා තමන් විශ්වාස කළ ප්‍රතිපත්ති වෙනුවෙන් නොසැලී පෙනී සිටි ලාල් විජේනායක, බලය හෝ තනතුරු ඉදිරියේ නොසැලී තම මතවාද වෙනුවෙන් අවංකව පෙනී සිටි බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙනවා.
2016 වසරේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අරමුණින් පත්කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ දී ලාල් විජේනායක පළමුව හමුවූ බව සිහිපත් කරන ඇය, එතැන් සිට පොදු දේශපාලන මතවාදයක් වෙනුවෙන් එක්ව පෙනී සිටිමින් හඬ නැඟූ බව ද ඇය විසින් නිකුත් කළ ශෝක පණිවුඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.
දේශපාලනය යනු බලය හෝ තනතුරු අත්පත් කර ගැනීමක් නොව, ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ සහ සාධාරණ සමාජයක් ගොඩනැගීමේ අරගලයක් බව ලාල් විජේනායක සිය ජීවිතයෙන් පෙන්වා දුන් බවද අග්‍රාමාත්‍යවරිය පවසනවා.
ලාල් විජේනායකගේ නික්මයාමෙන් ඇති වූ හිඩැස පුරවාලීම පහසු නොවන බවත්, ඔහු පෙනී සිටි මානවවාදී දේශපාලන දැක්ම සහ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් වූ කැපවීම ඉදිරියට ගෙන යාම ඔහුට දැක්විය හැකි සැබෑ උපහාරය වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් දක්වා තිබෙනවා.
ඔහුගේ දේශපාලන භාවිතය සමඟ එකඟ වූ මෙන්ම එකඟ නොවූ අවස්ථා පැවතියද, ඒ කිසිවක් ඔහු පිළිබඳ පැවති මිත්‍රත්වයට, සහෝදරත්වයට සහ ගෞරවයට බාධාවක් නොවූ බව ද අග්‍රාමාත්‍යවරියගේ සිය ශෝක පණිවුඩයේ දැක්වෙනවා.










