ලංකාවෙන් යන තීරණය ගැන යළිත් හිතන්න, රවීගෙන් HSBC ප්‍රධානීන්ට ලිපියක්

HSBC Electronic Data Processing Lanka ආයතනය වසා දමා එහි මෙහෙයුම් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාමේ තීරණය නැවත සලකා බලන ලෙස HSBC සමාගමේ සභාපතිවරයාගෙන් සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඉල්ලීමක් කර තිබෙනවා.

HSBC සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමින් රවී කරුණානායක මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කර තිබෙනවා.

දශක දෙකකට අධික කාලයක් පුරා මෙම හවුල්කාරිත්වය වෘත්තීය ජීවිත ගොඩනඟා, පවුල්වලට ශක්තියක් වී, ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට ජාත්‍යන්තරව පිළිගත් කුසලතා ලබා දී ඇති බව සඳහන් කරන මන්ත්‍රීවරයා ආයෝජනයක් ලෙස ඇරඹුණු මෙම ව්‍යාපෘතිය, මෙම කුඩා රටට මෙන්ම පෙරමුණ ගත් HSBC සන්නාමයට ද අභිමානය සහ නව අවස්ථා උදා කළ බවයි පෙන්වා දෙන්නේ.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ගෙන ඒමට තමන් මුලපිරූයේ අප ජනතාව පිළිබඳවත්, ඔවුන්ගේ හැකියාවන් හඳුනාගැනීමට HSBC තුළ පැවති සූදානම පිළිබඳවත් වූ විශ්වාසයෙන් බවයි ඔහු පවසන්නේ.

එම විශ්වාසය අදත් එලෙසම ශක්තිමත්ව පවතින් බවත්, ඉදිරියට යා හැකි මඟක් සොයා ගැනීම සඳහා අපගේ දක්ෂතා, සම්පත් සහ අධිෂ්ඨානය එක් කරන බවත් ඔහු අදාළ ලිපිය මඟින් දක්වා තිබෙනවා.

HSBC සිය ඉවත් වීමේ තීරණය නැවත සලකා බලා, මෙම දුෂ්කර අවධියේදී ශ්‍රී ලංකාව සමඟ රැඳී සිට, වසර විස්සකට අධික කාලයකට පෙර අප ආරම්භ කළ හවුල්කාරිත්වයට නව ජීවයක් ලබා දෙනු ඇතැයි තමා හෘදයාංගමව ආයාචනා කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදාළ ලිපිය මඟින් දන්වා සිටිනවා.

මන්ත්‍රීවරයා යොමුකළ ලිපිය මෙතැනින්..