අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීමට ලක් කිරීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනේ 2025 උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ පළමු වැඩසටහන අද (26) පෙරවරුවේ කිලිනොච්චියේදී පැවැත්වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සභාපතිත්වය යටතේ ජනාධිපති අරමුදලේ නව වැඩසටහනක් ලෙස 2025 වර්ෂයේදී ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ 2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීමට ලක් කරනු ලැබුවා.
එහිදී එක් එක් විෂය ධාරාවෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් දසදෙනෙකු බැගින් ඇගයීමට ලක් කළ අතර, මෙවර එම සංඛ්‍යාව සිසුන් විසිදෙනෙකු දක්වා ඉහළ නැංවීම විශේෂත්වයක්.
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිසුන් 3,000කට ආසන්න පිරිසක් මෙවර ඇගයීමට ලක් කෙරෙන අතර, එම සෑම සිසුවෙකුටම රුපියල් 100,000ක මූල්‍යාධාර සමග ඇගයීම් සහතික පත්‍රයක් පිරිනැමීමට නියමිතයි.
ඒ අනුව උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්ක 05හි විෂයධාරා 06 යටතේ පළවන ස්ථානයේ සිට විසිවන ස්ථානය දක්වා ලබාගත් සිසුන් 480 දෙනෙකු මෙහිදි ඇගයීමට ලක් කෙරුණා.
මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වත්මන් රජය උපරිම දායකත්වයකින් සහ කැපවීමකින් කටයුතු කරමින් සිටින බවයි. එම ගමනේදී ශක්තිමත් දායකත්වයක් සපයන ජනාධිපති අරමුදල ආර්ථික අපහසුතා ඇති පවුල්වල දුවා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩසටහන් රැසක් දියත් කර තිබෙන බවත්, මේ වසරේ එම වැඩසටහන් තවදුරටත් පුළුල්කර තිබෙන බවත් කථානායකවරයා පෙන්වා දුන්නා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න,
“රටේ අනාගත පරපුර කියන්නේ පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් රටේ ජීවනාලියයි. එහිදී අධ්‍යාපනය ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා වත්මන් රජය උපරිම දායකත්වයක් සහ කැපකිරීමක් සිදු කරමින් සිටිනවා. එම ගමනට දායක වීම වෙනුවෙන් ජනාධිපති අරමුදල ඉතා වෙහෙසකර සහ අධිෂ්ඨානශීලී පියවර රැසක් මේ වන විට ගෙන තිබෙනවා.
ජනාධිපති අරමුදල විසින් 2023 සහ 2024 වසරවල අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික් මට්ටමින් 01 වෙනි ස්ථානයෙන් සිට 10 වෙනි ස්ථානය දක්වා ලබාගත් සියලු සිසුන්ට, ඒ අනුව සිසුන් 2960කට රුපියල් මිලියන 296ක ශිෂත්ව ප්රදානය කළා. මේ වසරේ ඔබ තවත් වාසනාවන්ත වී තිබෙනවා. මොකද ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා සෑම විෂය ධාරාවකින්ම 1 සිට 10 දක්වා පමණක් නෙවෙයි, 1 සිට 20 දක්වා ඉන්න සියලුම දරුවන්ට මේ රුපියල් ලක්ෂයක මූල්‍යාධාරය ලබා දීමට. ඒ අනුව මේ වසර සඳහා පමණක් රුපියල් මිලියන 280 ක මුදලක් අපි වෙන් කර තිබෙනවා. ජනාධිපති අරමුදල මේ සෑම පියවරක්ම ගන්නේ ආර්ථික දුෂ්කරතා තිබෙන දරුවන්ට සහනයක් ලබා දීමටයි”.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්,
අද කිලිනොච්චිය දිස්ත්‍රික්කයට විශේෂ දවසක්. වත්මන් ආණ්ඩුව බලයට පත්වෙලා, අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ධූරයට පත්වෙලා මේ මාසයට වසර දෙකක කාලයක් සපිරෙනවා. ඒ වගේම ජනාධිපති අරමුදල ආරම්භ කර අද වන විට වසර හතළිස් අටක් ගත වෙනවා. මීට වසර දෙකකට පෙර ජනාධිපති අරමුදලක් සම්බන්ධයෙන්, ජනාධිපති අරමුදලේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අප සමාජයේ වැඩි කතාබහක් තිබුනේ නැති තරම් කිව්වොත් නිවැරදියි. එහෙත් ජනතාවගේ අරමුදලක් වන ජනාධිපති අරමුදල වර්තමාන ආණ්ඩුව යටතේ සැබෑ ලෙසම ජනතාවගේ අරමුදලක් බවට පත්ව තිබෙනවා. කොළඹට පමණක් සීමා වෙලා තිබුණු පහසුකම් දැන් කොළඹින් පිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කර ජනතාවට වඩාත් සමීප කර තිබෙනවා.
උතුරු පළාත ගත් විට අධ්‍යාපනයෙන් යම් පසුගාමී තත්ත්වයක් පෙන්නුම් කළ පළාතක්. ඒ නිසා මෙවැනි වැඩසටහන් දායක කර ගනිමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක කර ගන්නා ලෙසත්, දරුවන් ඒ සඳහා දිරිමත් කරන ලෙසත් මම සිසු දරු දැරියන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙහි ආරාධිත දේශනය සිදු කළ යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමීනාදන් විමල්,
“මීට පෙර වසරේ මෙම ශිෂ්‍යත්ව ලබාදීම සිදු වූයේ එක් විෂයකින් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකුට පමණයි. එහෙත් දැන් එම ප්‍රමාණය 20 දක්වා ඉහළ නංවා තිබෙනවා. අපේ රට සංවර්ධනය කරා යන ගමන ආරම්භ කර තිබෙන බව එයින් මැනවින් පැහැදිලි වෙනවා. ඒ වගේම මීට අවුරුදු දෙක තුනකට පෙර ජනාධිපති අරමුදල කිව්ව ගමන්ම අපේ මතකයට ආවේ ඉතාමත් අසීරු රෝගාසන්න තත්ත්වයේ සිටී අයට පවා කිසිම ආධාරයක් ලබා ගැනීමට නොහැකි, ඉතා අසීරුවෙන් ආධාර ලබා ගැනීමට සිදු වූ ස්ථානයක් ලෙසයි.
ඒ විතරක් නෙවෙයි අපිට දැන ගන්න ලැබුණා ඉතාමත් ධනවත් දේශපාලනඥයෝ විදේශගතව වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට ජනාධිපති අරමුදලේ මුදල් භාවිතා කළ බව. එසේනම්, මේ වෙනස සිදු වුණේ කොහොමද, මේ වෙනස පිටුපස තිබෙන කාරණය මොකක්ද, එහෙම නැත්නම් මෙම වෙනස විසින් අපිට පැහැදිලි කර පෙන්වන මාර්ගය මොකක්ද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි.
විශේෂයෙන් ජනාධිපති අරමුදලේ කටයුතු විමධ්‍යගත කිරීම ඉතාමත් වැදගත් දෙයක්. සංවර්ධනය සහ විශේෂයෙන්ම මානව සම්පත දියුණු කිරීමේ වැඩපිළිවෙළ ග්‍රාමීය ප්‍රදේශ කරා ගමන් කිරීම ආරම්භ වී තිබෙන බව එයින් පෙනෙනෙවා. රාජ්‍ය මගින් ලබාදෙන සේවාවන් ග්‍රාමීය මට්ටමට රැගෙන යාම ඉතාමත් වැදගත්. රාජ්‍ය ආයතන විශේෂයෙන් ජනාධිපති අරමුදල පවා විමධ්‍යගත කිරීම තුළින් ආණ්ඩුව දීර්ඝකාලීන දේශපාලන ඉල්ලීම් පිළිබඳ දක්වන සංවේදීතාව පැහැදිලි වෙනවා.
විශේෂයෙන්ම අපේ රටේ ලබා ඇති මේ ජයග්‍රහණ තුළ විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දායකත්වය ඉතාමත් විශාලයි. ඒ අනුව රටක ඉදිරි ගමන තීරණය කිරීමේදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ඉතාමත් තීරණාත්මක වෙනවා. අපි මේ ලබා තිබෙන වෙනස, ඒ වෙනසට මගපෑදූ කාරණා පිළිබඳ අවධානය යොමුකරන විට එය මැනවින් පැහැදිලි වෙනවා. විශ්වවිද්‍යාල ජීවිතය තුළින් ලබාගන්නා අත්දැකීම් තුළින් තමයි සමාජයේ ඇතිවෙන අභියෝග වලට මුහුණදීමටත්, කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කිරීමටත් හැකියාව ලැබෙන්නේ.ඒ අනුව ජනාධිපති අරමුදල තුළින් ලැබෙන මේ සහයෝගය තුළින් බලාපොරොත්තු වන්නේ මේ රටේ අනාගත මානව සම්පත, දියුණු මානව සම්පතක් බවට පත්කර ගැනීමයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්ලතම්බි තිලකනාදන්, එම්. ජෙගදීස්වරන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනූජා මුරුගේසන් සහ පළාතේ මහජන නියෝජිතයෝද, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විදුහල්පතිවරු, ගුරු භවතුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.













