රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් 04ක් සහ සුඛෝපභෝගී වාහන කිහිපයක් අත්හිටුවයි

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් 04ක් සහ සුඛෝපභෝගී වාහන කිහිපයක් අත්හිටවූ බවත් චරිත අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් අත්හිටු වීමට ඉදිරි පියවර ගන්නා බවත් අල්ලස් කොමිසම අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා සිටියා.

ඒ අල්ලස් කොමිසම විසින් මෝසමක් ගොනු කරමින් නඩුව යළි කැඳවු අවස්ථාවේදියි.

තවද මෙම සිද්ධියට අදාළ තෙවැනි සැකකරු වන වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන අයගේ බිරිඳට සහ පියාට අයත් වාහන 02ක් තහනම් කිරීමට කටයුතු කළ බවද අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූවා.

තවද මෙම සිද්ධියේ පළමු සැකකරු වන චරිත අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් තහනම් කිරිමට ඉදිරි දින කටයුතු කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.

මෙම වර්තාවන් පැය 72ක් ඇතුළත අධිකරණයට ලැබීමට සලස්වන බව පැවසූ අල්ලස් කොමිසම මේ සම්බන්ධයෙන් ප්‍රගතිය වර්තා කිරීමට ඉදිරි දිනයක් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා දෙසැම්බර් 08 වන දින නඩුව යළි කැඳවිමට නියෝග කළා.

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් කිහිපයක් සහ සුඛෝපභෝගී වාහන කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පියවර ගෙන තිබෙනවා.

2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබද පනත ප්‍රකාරව මෙම දේපල අත්හිටුවීමට පියවර ගත් බවයි අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නිතිවරිය අධිකරණයට දන්වා සිටියේ.

සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම සැකකාර රඛිත රාජපක්ෂට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර තිබුණා.

ඒ අනුව මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස චරිත අබේසිංහ සහ දෙවැනි සැකකරු ලෙස රඛිත රාජපක්ෂ, සහ තෙවැනි සැකකරු ලෙස වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන අයවලුන් රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට ඇප මත සිටිනවා.

අදාළ ගිණුම් සහ වාහන අත්හිටුවීමට අදාළ නොතීසිය භාරදීම සඳහා කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් ඊයේ (29) ඔහුගේ නිවසට ගොස් එය භාරදී තිබෙන බවද අධිකරණයට දැන්වූවා.