රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3කට ක්‍රියාවිරහිත කිරීමට නියෝග

නීතිඥ රඛිත රාජපක්ෂට අයත්, බැංකු ගිණුම් සහ වාහන මාස තුනක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කරමින් කොළඹ මහාධිකරණය අද (05) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ බවට වාර්තාවෙනවා.

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “හරක් කටා” නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටියදී, ඔහු එම රැඳවුම් භාරයෙන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා තැබීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන් ඇප මත මුදාහැර සිටිනවා.

එහෙත් සැකකරුවන් අල්ලස් ලෙස ලබාගත් බව කියන රුපියල් කෝටි 12ක මුදල මෙතෙක් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන්, “අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත” යටතේ අල්ලස් කොමිසම විසින් ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මීට පෙර තහනම් කරන්නට කටයුතු කෙරුණා.

අදාළ බැංකු ගිණුම් තුළ රුපියල් කෝටි 4ක පමණ මුදලක් තිබී ඇති බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරනවා..

මෙම තහනම පිළිබඳ වාචිකව දැනුම්වත් කිරීම සඳහා විමර්ශන නිලධාරීන් අවස්ථා කිහිපයකදී රාජගිරියේ පිහිටි රඛිත රාජපක්ෂගේ නිවාස සංකීර්ණය වෙත ගියද, ඔහු එහි නොසිටි බැවින් අදාළ දැනුම්දීම ඔහුගේ බිරිඳ වෙත සිදු කර ඇති බව අල්ලස් කොමිසම වැඩිදුරටත් පවසනවා..