ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව, මාතර, මිරිස්ස තල්අරඹ වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි, ඊයේ (28) දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 346යි ග්‍රෑම් 184ක පමණ තොගයක් සහිත උර 17ක් අත්අඩංගුවට ගනු ලැබුවා.
එම උර තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙක් සහ එක් සැකකාරියක් ද අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් උර දහහත සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව, අද (29) සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී, එම උර තුල පාර්සල් තුන්සිය හතලිහක (340) අසුරා, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 346යි ග්‍රෑම් 184ක් පමණ අඩංගු බව තහවුරු වුණා.
ඒ අනුව, මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය, එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ බවට සැක කෙරෙන ඩිංගි යාත්‍රාව සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා, සහ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීමට පැමිණි බවට සැකකෙරෙණ වෑන් රථ දෙකක් සමඟ අත්අඩංගුවට ගත් සැකකාරිය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.










