මන්ත්‍රී නලීන් බණ්ඩාර නීතිවිරෝධීව ගෙන ආ ඩ්‍රෝන යානා 39ක් ගුවන්තොටේදී රේගු භාරයට

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රොපෝන් 16ක් අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව
රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පවසනවා.

මෙම ඩ්‍රෝන යානා ආනයන බලපත්‍ර, විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය සහ ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය නොමැතිව රැගෙන විත් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා අද (08) උදෑසන 11.23 ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටිනවා.