මත්ද්‍රව්‍ය චෝදනාවකට නිදහස් කෙරූ විත්තිකරුවන් ගැන අධිකරණයෙන් තීන්දුවක්

2019 වසරේ උතුරු මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 196.8 ක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා ලබා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් පස් දෙනා අතුරින් විත්තිකරුවන් දෙදෙනෙකු රටින් පලා ගොස් ඇති බව නීතිපතිවරයා ඊයේ(27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් පස්දෙනා වරදකරු කොට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනු කර තිබූ අභියාචනා පෙත්සමක් ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරල් අයේෂා ජිනසේන මෙනෙවිය විසින් මෙම දැනුම්දීම සිදු කළා.

ඒ අනුව විදේශගත ව සිටින මෙම විත්තිකරුවන් දෙදෙනා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ව මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.

ඊට අමතරව විදේශගත ව සිටින එම විත්තිකරුවන් දෙදෙනාගේ ඇපකරුවන්ට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියම කර තිබෙන බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම අභියාචනා පෙත්සම ඊයේ එස්.තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලැබුවා.

අභියාචනා පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ ව මහාධිකරණය විසින් නිදහස් කළ විත්තිකරුවන් පස්දෙනා අතුරින් විත්තිකරුවන් තුන් දෙනෙකුට සිතාසි භාර දී තිබෙන බව සඳහන් කළා.

මෙම නඩුකරයේ දෙවන සහ පස්වන විත්තිකරුවන් දෙදෙනා දැනටමත් රටින් පිටවී ගොස් ඇති අතර දෙවන විත්තිකරු වීසා කාලය ඉක්මවා රැඳී සිටිම හේතුවෙන් ඔහු ඉන්දුනීසියානු පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළා.

ඊට අමතරව පස්වන විත්තිකරු 2023 වසරේ ජනවාරි මස 15 වනදා සිංගප්පුරුවට ගොස් ඇති බවට වාර්තා ලැබී තිබෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු දුන් සොලිසිටර් ජනරල්වරිය මෙම විත්තිකරුවන් දෙදෙනා රටින් පිට වී ගොස් ඇත්තේ නීත්‍යානුකූල මාර්ගයෙන් බවත් සඳහන් කළා.

මෙහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා සොලිසිටර් ජෙනරාල්වරියට පෙන්වා දුන්නේ ඉන්දුනීසියානු පොලිස් අත්අඩංගුවේ පසුවන විත්තිකරු පිටුවහල් කොට මෙරටට ගෙන්වා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙසයි.

මෙම විත්තිකරුවන් දෙදෙනා උදර්පන නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කර මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන බව සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

සියලු කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ වනවිට සිතාසි භාර දී තිබෙන විත්තිකරුවන් තුන් දෙනාටම මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙන්නැයි ඔවුන්ගේ නීතිඥවරයාට නියෝග කළ අතර ඔවුන්ට රටින් පිටවී යාමෙන් වළක්වන්නැයි දැනුම් දෙන ලෙසත් ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව අභියාචනා පෙත්සම් විභාගය අගෝස්තු මස 06 සිදු කරන බවත් විනිසුරු මඩුල්ල නියම කළා.

2019 වසරේ නොවැම්බර් මස 21 වනදා ත්‍රිකුණාමලයට ඔබ්බෙන් පිහිටි ගැඹුරු මුහුදේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහි ව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පවරනු ලැබුවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුවට ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල 2023 වසරේ අප්‍රේල් මස 06 වන දා අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළා.

එම මහාධිකරණ තීන්දුව නීතියට පටහැනි බවත් එබැවින් එය අහෝසි කොට විත්තිකරුවන් අදාළ චෝදනාවලට වරදකරු කර ඔවුන්ට දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30