බිලියන 190ක් රට යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් රිමාන්ඩ් කෙරේ

මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් බිලියන 190ක මුදලක් විදේශ රටවලට යැවූ බව කියන සිද්ධියට අදාළව ජිෆ්රි මොහොමඩ් ඇතුළු සැකකරුවන් දෙදෙනකු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (05) නියෝග කළා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පළමු සහ අටවන සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ පළමු සහ අටවන සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ලබාදීමට විරෝධතා අද (05) ගොනු කළ බවයි.

ආනයන හා අපනයන කටයුතුවලට අදාළව සිදුකරන විමර්ශනයේදී අවශ්‍ය අවසන් තක්සේරු වාර්තා සහ අනෙකුත් ලේඛන ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද විමර්ශන නිලධාරීන් පවසා සිටියා.

අදාළ සමාගම් ආරම්භ කිරීම සහ ඒවායේ පදනම සකස් කිරීම සඳහා දායක වූ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ද විමර්ශන නිලධාරීන් කටයුතු කරන බව දැනුම් දුන්නා.

මෙහිදී පළමු සැකකරු වන ජිෆ්රි මොහොමඩ් සහ අටවන සැකකරු සම්බන්ධයෙන් ද තවදුරටත් විමර්ශන සිදුකරන බව නිලධාරීහු සඳහන් කළා.

එමෙන්ම බැංකු නිලධාරීන් සහ විමර්ශනයට අදාළ සමාගම් අතර සම්බන්ධතා පවතින්නේද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා අදාළ ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරන බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් සම්බන්ධයෙන් ඇප නියෝගය ලබන 12 වැනිදා ලබාදෙන බව ප්‍රකාශ කළා.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා ලබන 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා.