දිට්වා නිසා විනාශ වූ මාර්ග හා පාලම් හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට බිලියන 75ක අලාභයක්

දිවයිනට බල පෑ හදිසි ආපදා තත්ත්වයෙන් මාර්ග හා පාලම් විනාශ වීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75ක පමණ අලාභයක් සිදුව ඇති බවට දැනට දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පවසනවා.

එමෙන්ම එම විනාශ වූ මාර්ග හා පාලම් සම්පුර්ණයෙන් යථාතත්ත්වයට පත්කිරීමේ දී සිදුකළ යුතු අනෙකුත් ප්‍රතිසංස්කරණයන් සමඟ ඒ සඳහා රුපියල් බිලියන 190 ක පමණ මුදලක් අවශ්‍යවන බවට ඇස්තමේන්තු ගත කර ඇති බව එම නිලධාරීන් වැඩිදුරටත් පැවසුවා.

රට තුළ පවතින ආපදාවේ ස්වභාවය විශ්ලේෂණය කිරීම සහ එයින් සිදුවන සමාජීය, ආර්ථික හා පාරිසරික හානිය තක්සේරු කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්ගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මේ පිළිබඳව කරුණු අනාවරණය වුණා.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම ආපදා තත්ත්වය හමුවේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින මාර්ග 316 ක් සහ පාලම් 40කට හානි සිදුවී ඇති බව පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ දුම්රිය මාර්ගවලට සිදුවූ හානිය සහ දිවයිනපුරා ප්‍රාදේශීය මාර්ගවලට සිදුවූ හානිය පිළිබඳව තවමත් තක්සේරු කිරීමක් සිදුව නොමැති බවයි.

ප්‍රාදේශීය මාර්ග නැවත පිළිසකර කිරීමේ දී ඒ සඳහා වන මුදල් ප්‍රතිපාදන ලබාදීම සඳහා අමාත්‍යාංශය මූලිකත්වයෙන් වැඩපිළිවෙලක් සකස් කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ඒ අනුව දැනට ලෝක බැංකුව මගින් රුපියල් බිලියන 02ක මුදලක් ණයක් ලෙස ලබාගැනීමට අපේක්ෂා කරන බවත්, තවත් ආයතන කිහිපයක් මගින් මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍ය මුදල් ලබාගැනීමට අපේක්ෂා කරන බව එම නිලධාරීන් කාරක සභාවට දැනුම් දුන්නා.

මේ අතර මෙම ආපදා තත්ත්වයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 20ක පමණ අලාභයක් සිදුව ඇති බව එම මණ්ඩලයේ නිලධාරීන් කාරක සභාවට දැන්වූවා.

ලෝක බැංකුවෙන් මේ සඳහා යම් ණය මුදලක් ලබාගැනීමට සාකච්ඡා සිදුවන බවත් එම නිලධාරීන් පැවසුවා.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා එම මුදල ණය මුදල් ලෙස ලබා නොගෙන ප්‍රදානයක් ලෙස ලබාගැනීමට උත්සාහ කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ණය මුදලක් ලෙස එම ප්‍රතිපාදන ලබාගැනීම ඔස්සේ පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පතේ යම් වැඩිවීමක් සිදුවිය හැකි බැවින් එම මුදල ප්‍රදානයක් ලෙස ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළා.

තවද සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමට මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දැනට ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට රුපියල් මිලියන 252 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම නිලධාරීන් කාරක සභාවට දැන්වූවා.

එම අළුත්වැඩියා කටයුතු සඳහා වැයවන මුදල ඔවුනට අයවැය මගින් වෙන් කර තිබෙන ප්‍රතිපාදන මගින් ප්‍රතිපුර්ණය කරගත හැකි බැවින් අමතර ණය හෝ ප්‍රදානයක් අවශ්‍ය නොවන බව සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් කාරක සභාවට දැන්වූවා.

ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දැනට ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට රුපියල් බිලියන 5.6ක පමණ අලාභයක් සිදුව ඇති බව එම නිලධාරීන් කාරක සභාව දැන්වූවා.

ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ජල සැපයුම් යෝජනාක්‍රම 156 කට හානි සිදුව ඇති බවත් ඒ සියල්ලම නඩත්තු කටයුතු සිදු කර මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවත් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා කාරක සභාවට පැවසුවා.

එමෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය මුදල් ආසියානු සංවර්ධන බැංකුව මගින් ප්‍රදානයක් ලෙස ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව ද ලේකම්වරයා කාරක සභාවට දන්වා සිටියා.

ඒ, අනුව මෙහිදී අදහස් දක්වමින් ඉදිරියේදී සිදුවිය හැකි ආපදාවන්ට මුහුණදීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාවේ සභාපතිවරයා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් ඒ සඳහා අවශ්‍ය සහාය අදාළ අමාත්‍යාංශ සහ නිලධාරීන් වෙත ලබාදීමට සූදානම් බවද පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16