ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම ගැන දකුණු ආසියාවේ රටකට එරෙහිව බරපතල චෝදනාවක්

පාකිස්ථානයේ අනුග්‍රහය ලැබූ ත්‍රස්තවාදීන් ඉන්දියාවේ වාණිජ අගනුවර වන මුම්බායි වෙත ප්‍රහාරයක් එල්ල කර වසර 14 ක් ගතවී ඇත.

එම දිනය, එනම් 2008 නොවැම්බර් 08 වැනිදා යනු, හරියටම පකිස්ථානයේ සිවිල් රජය එහි විදේශ ඇමැතිවරයා නවදිල්ලියට යවා, ඇනහිට තිබූ ඉන්දියා-පකිස්ථාන සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කළ දිනයම විය.

කෙසේහෝ වේවා දින තුනක් මුම්බායි නගරයේ සිදු වූ ලේ වැගිරීම පිටුපස පාකිස්තානයට පවතින සබඳතා පිළිබඳ සාක්ෂි ඕනෑතරම් දැකගත හැකි විය.

එහෙත් පසුගිය වසර 14 තුළ මෙම අපරාධය සිදුකළ වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා ඉන්දියාව කළ ඉල්ලීම් කිසිවක් පාකිස්ථානය සැලකිල්ලට ගෙන නැත. එමගින් පාකිස්ථානය අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ ඔප්පු කර ඇත්තේ කුමක්ද? ඒ අන් කිසිවක් නොව, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ප්‍රමාණවත් ලෙස කටයුතු කිරීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බවත්, ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන සිය ප්‍රතිපත්තිය අත්හැරීමට සුදානමක් නොමැති බවත්ය.

මෙම සන්දර්භය තුළ, මෑත කාලීනව මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් පකිස්තානය සිය ලැයිස්තුවෙන් ඉවත්කිරීම සහ එහි අභිප්‍රාය අන්තර්ජාතික ප්‍රජාවට ඒත්තු ගැන්වීමට යොදාගන්නා උපායමාර්ගය විශ්ලේෂණය කිරීම වැදගත් වේ.

ගෝලීය මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මූල්‍ය ආධාර සැපයීම පිලිබඳ නිරීක්ෂකයා වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය, වසර හතරක පමණ කාලයක් පකිස්ථානයේ ක්‍රියාකාරිත්වය සමාලෝචනය කිරීමෙන් පසු රට “අළු ලැයිස්තුවෙන්” ඉවත් කිරීමට අවසානයේ තීරණය කළ විට එය පාකිස්තානයට විශාල සහනයක් විය.

එම ලැයිස්තුවෙන් ඉවත් වීමට පකිස්තානයට දීර්ඝ විමර්ශන ක්‍රියාවලියකට මුහුණ දීමට සිදු විය. පාකිස්ථානය “අළු ලැයිස්තුවට” එකතු කරන ලද්දේ 2018 ජුනි මාසයේදී පැරිසියේ පැවති FATF හි පැවැති රැස්වීමේදීය.

මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් පලකරන පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ, “පකිස්තානය FATF අළු ලැයිස්තුවෙන් ඉවත්වීම වසර ගණනාවක් තිස්සේ අපගේ අධිෂ්ඨානශීලී සහ තිරසාර උත්සාහයන් සනාථ කිරීමකි. අපගේ සිවිල් සහ හමුදා නායකත්වයට මෙන්ම අද දින සාර්ථකත්වය සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ සියලුම ආයතනවලට මම සුබ පැතීමට කැමතියි.” යනුවෙනි.

පාකිස්ථානයේ නම මෙම අළු ලැයිස්තුවට එක් වූ තුන්වන අවස්ථාව මෙය විය. මීට පෙර පාකිස්ථානය 2008-2010 සහ 2012-2015 කාලය තුළ FATF හි අළු ලැයිස්තුවේ සිටි අතර, 2015 පෙබරවාරි මාසයේදී එහි නම ලැයිස්තුවෙන් ඉවත් කරන ලදී.

පාකිස්තානය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ගත් නවතම තීරණය සම්බන්ධයෙන් FATF සභාපති රාජ කුමාර්ගේ ප්‍රකාශය මෙසේ විය.

“එය සමගාමී ක්‍රියාකාරී සැලසුම් දෙකක් අනුව සිදුවූවකි. පකිස්තාන බලධාරීන් ඒ වෙනුවෙන් කටයුතු කර ඇති අතර, ඔවුන් අප විසින් දක්වා ඇති සියලුම ක්‍රියාකාරී සැලසුම් බොහෝ දුරට ක්‍රියාත්මක කර ඇත.”

FATF විසින් තමන් සම්බන්ධයෙන් ඉතා දැඩි ලෙස ක්‍රියා කර ඇති බවට පාකිස්තානය බොහෝ විට පැමිණිලි කර ඇත.

පාකිස්තානයේ දිනපතා පලවන ඉංග්‍රීසි පුවත්පතක කතුවැකියක සටහන් කර ඇත්තේ, 2018 ජුනි මාසයේදී පාකිස්ථානය “අළු ලැයිස්තුවට” ඇතුළත් කිරීමට FTAF ගත් තීරණය “පකිස්ථානයේ වෙනස් වන ගතිකතාවයන් සැලකිල්ලට ගනිමින්, පාකිස්තානයට දඬුවම් කිරීමට ගත් පියවරක් බවයි. එසේම FATF බොහෝවිට, දැඩි ලෙස ක්‍රියා කර ඇති බවත්, එහි තක්සේරුවේදී සහ තීරණ ගැනීමේදී මධ්‍යස්ථභාවයට වඩා පැහැදිලිවම පක්ෂග්‍රාහීත්වයක් පෙන්නුම් කළ බවත් ඇතැම් පාකිස්ථාන විචාරකයන්ගේද අදහස වී තිබේ. කෙසේවෙතත් මෙම තර්කයන්වල පදනම එතරම් ශක්තිමත් නැත.

කෙසේවෙතත් ‘ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන්’ වැනි පුවත්පත් සිය කතුවැකිවලින් පෙන්වාදී ඇත්තේ ත්‍රස්තවාදය සඳහා මූල්‍ය සම්පාදනය මැඩලීම සඳහා රට තුල පවතින ක්‍රමවේදය දුර්වල බවයි. එසේම පකිස්ථානයේ ත්‍රස්තවාදීන්ට මූල්‍යමය වශයෙන් උපකාර කරන මූලද්‍රව්‍ය පවතින බවද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් කතුවරයා පෙන්වාදී ඇත.

අනෙක් අතට පද්ධතියේ ඇති හිඩැස් සමහර පුද්ගලයන් විසින් භාවිත කරනු ලැබිය හැකි ය. මෙම මූල්‍ය සහාය නොමැති වූයේනම්, 2008 මුම්බායි ප්‍රහාර, 2016 දී පතන්කොට් හා උරි ප්‍රහාර සහ 2019 දී පුල්වාමා ප්‍රහාර වැනි කැපී පෙනෙන ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා දායකවූ පිරිස්වලට සාර්ථකවීමට අවස්ථාව නොලැබෙනු ඇත.

හිටපු හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ආතාර් අබ්බාස් විසින් 2011 වසරේදී සහභාගීවූ සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වාදෙනු ලැබුවේ, “ආරක්ෂක අංශවල ඇතැම් විශ්‍රාමික නිලධාරීන් මුම්බායි අපරාධකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාවක්” පවතින බවයි.

මේ අතර රටේ තුන් වතාවක් අගමැති ධුරයට පත්වූ නවාස් ෂරීෆ් පවා 2018 මැයි මාසයේ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ, “සටන්කාමී සංවිධාන ක්‍රියාකාරීන්, රජයට සම්බන්ධයක් නොමැති වුවද මුම්බායි හි මිනිසුන් 150 ක් මරා දැමීමට දේශසීමා හරහා යාමට ඔවුන්ට ඉඩ දිය යුතුද? ඇයි අපිට නඩු විභාගය සම්පූර්ණ කරන්න බැරි?” යනුවෙනි.

මුම්බායි හි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට සහ මුදල් යෙදවූවන්ට, එනම් ලෂ්කාර්-ඊ-තයිබා (එල්ඊටී) සංවිධානයට, හෆීස් සයීඩ්, සකියුර් රෙහ්මාන් ලක්වි සහ සජිඩ් මිර් වැනි නායකයන්ට එරෙහිව පාකිස්ථානය කිසිදු ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිණි. ඇත්තෙන්ම මුම්බායි ප්‍රහාරයට පාකිස්තානයේ සම්බන්ධයක් ඇති බව පාකිස්ථානය විසින් පිළිගනු ලැබුවේ 2009 පෙබරවාරියේදීය.

මුම්බායි ප්‍රහාරයේදී “කුමන්ත‍්‍රණයේ යම් කොටසක් පකිස්තානයේ සිදුවී ඇත” යනුවෙන් පවසමින්, පාකිස්ථානය විසින් මුම්බායි ප‍්‍රහාරය සැලසුම් කළ බවට චෝදනා කරමින් ‘ලක්වි’ ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

කෙසේ වෙතත්, 2014 දෙසැම්බර් මාසයේදී ලක්විට ඇප ලබා දෙන ලදී. ඔහුගේ නීතීඥවරයාට අනුව, “ලක්විට එරෙහි සාක්ෂි ප්‍රමාණවත් නොවීම” නිසා මෙලෙස ඇප ලබාදී තිබිණි. කෙසේවෙතත් FATF විසින් දිගින් දිගටම බලපෑම් එල්ලකිරීම හේතුවෙන් ලක්වි නැවත 2021දී අත්අඩංගුවට පත්වූ අතර, FATF විසින් නිරන්තරයෙන් ලුහුබැඳීමෙන් පසුව, ඔහු ත්‍රස්තවාදයට මුදල් සැපයීමට සම්බන්ධ බව ඔප්පු විය.

LeT හි ප්‍රධානියා වන හෆීස් සයීඩ් සම්බන්ධයෙන් ආරම්භයේදී පාකිස්ථානය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇතැම් විට ඔහුට රට තුළ ලැබුණු සහයෝගය නිසා විය හැකිය. මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල වීමෙන් පසු, හෆීස් 2013 සැප්තැම්බර් මාසයේදී ඉස්ලාමාබාද්හි ප්‍රසිද්ධ රැලියක්ද සංවිධානය කළේය.

පසුකාලීනව “ජාතික අවශ්‍යතා” සඳහා වූ “ප්‍රතිපත්තිමය තීරණයක්” ලෙස ප්‍රකාශ කරමින්, ඉන්දියාවෙන් එල්ලවූ බලපෑම් හමුවේ කෙටි කාලයකට පමණක් හෆීස්ව නිවාස අඩස්සියේ තැබීමට පකිස්ථානය කටයුතු කළේය.

ඇත්තෙන්ම අත්අඩංගුවට ගත්තද ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් තරම්ය. පසුව, හෆීස් නිවාස අඩස්සියේ සිට නිදහස් කරන ලද අතර, අත්අඩංගුවේ තබාගැනීම දීර්ඝ කිරීම සඳහා රජය විසින් කරන ලද ඉල්ලීමක් අධිකරණය විසින්ද ප්‍රතික්ෂේප කරන ලදී. මෙහි වූ සත්‍යය වන්නේ පාකිස්ථානය අළු ලැයිස්තුවට ඇතුලත් කළ වහාම හෆීස් අත්අඩංගුවට ගැනීමත් පසුව උණුසුම මැකීයත්ම නිදහස් කිරීමත්ය.

එවැනි ත්‍රස්තවාදයට සෘජුවම සම්බන්ධ බවට සාක්ෂි සහිතවූ පුද්ගලයන්ට එරෙහිව පවා ගනු ලැබූ දියාරු පියවර දෙස බලන විට පාකිස්ථානය ඇත්තෙන්ම ත්‍රස්තවාදයට හෝ ත්‍රස්තවාදයට මුදල් සම්පාදනය කිරීමට එරෙහිව අවංකව සටන් කරනවාය යන්න පිළිගැනීම ඉතාම අසීරුය.

එහි අනෙක් අර්ථය වන්නේ පකිස්ථානයේ ත්‍රස්තවාදයට අවශ්‍ය “මූලද්‍රව්‍ය” තිබේ යන්නය. පකිස්තානයේ පරිපාලනයේ අනුග්‍රහය යටතේ හෝ විවිධ පුද්ගලයන්ගේ සහයෝගය නිසා ත්‍රස්තවාදීන්ට හෝ පහසුකම් සපයන්නන්ට පහසුවෙන් ගැලවීමට හැකිවී තිබේ. එසේත් නැතිනම් අත්අඩංගුවට පත් වූ විට පවා, ඔවුන්ට රටේ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට සහ මුදල් විශුද්ධිකරණයට එරෙහිව පවතින නීති පද්ධතියේ ඇති හිඩැස් ප්‍රයෝජනයට ගැනීමට හැකියාව ලැබී ඇත.

පකිස්ථානය යනු, එහි දේශපාලන ක්‍රමය සහ වාර්ගික ගැටුම්, ත්‍රස්තවාදයේ සිට උග්‍ර ආර්ථික අර්බුද දක්වා වූ මෙතෙකැයි කිවනොහැකි ගැටලු හේතුවෙන් දුර්වලව සිටින ජාතියකි. ත්‍රස්තවාදයට මුදල් සැපයීම හෝ මුදල් විශුද්ධිකරණය වැනි ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට පකිස්ථානය අපොහොසත් හෝ අකැමැති වේ.

පාකිස්ථානය විසින් ආගමික පක්ෂවලට සහ කණ්ඩායම්වලට ලබා දී ඇති අවකාශය සහ සමාජය ප්‍රචණ්ඩත්වයට පත්කිරීමෙහිලා ඔවුන් ඉටුකරන කාර්යභාරය හේතුවෙන් තත්වය වඩාත් සංකීර්ණ වී ඇත.

එබැවින්, ත්‍රස්තවාදය සමඟ තම ප්‍රේමය දිගටම කරගෙන යාමටත්, ත්‍රස්තවාදය තම ප්‍රතිපත්තියේ මෙවලමක් ලෙස භාවිතා කිරීමටත් අදිටන් කරගෙන සිටින රටක් සම්බන්ධයෙන් මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) මෙතරම් ඉක්මනින් සිය කොන්දේසි ලිහිල් කිරීම අවබෝධ කරගත නොහැකි තත්වයක් බව කිවයුතුය.

ඇත්තෙන්ම වඩාත් පුළුල් ලෙස ත්‍රස්තවාදයට එරෙහි ලෝක අවශ්‍යතා සැලකිල්ලට ගත්තේ නම් FATF කළයුතුව තිබුණේ පාකිස්ථානය සිය අළු ලයිස්තුවේ තවත් කලක් රඳවා ගැනීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?