ජොන්ස්ටන්ගේ සතොස නඩුව ලබන 13 යළි කැඳවීමට නියෝග

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී සතොස ආයතනයේ සේවකයින්, ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 13 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (03) නියෝග කළා.

ඒ, අනුව අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබෙනවා.

හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ⁣දෙදෙනා විවෘත අධිකරණයේ පෙනී සිටියා.