විදේශගත ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් රජය විසින් නව වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කර ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා විසින් අද (03) පාර්ලිමේන්තුවේදී යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්, විදේශගත ශ්‍රමිකයන්ගේ සේවා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, පැමිණිලි සඳහා පහසුකම් සැලසීම, සමාජ සුබසාධනය ශක්තිමත් කිරීම සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා කරුණු අද දින පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දුන්නා.
විදේශ රැකියා නියෝජිත ආයතන විසින් තමන් හරහා විදේශගත කරන ශ්‍රමිකයන්ගේ සේවා ගිවිසුම් සුරක්ෂිත කිරීමේ නීතිමය වගකීමක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ස්වයං ලියාපදිංචි ක්‍රමවේදය (Self Registration) යටතේ විදේශගත වන ශ්‍රමිකයන් ද අදාළ වගකීම් භාරගත යුතු බව නියෝජ්‍ය අමාත්‍යතුමා පවසනවා.
විදේශගත ශ්‍රමිකයන්ට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1989 ක්ෂණික ඇමතුම් අංකය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛා කාර්යාල ඇතුළු ක්‍රමවේද කිහිපයක් පවතින අතර, මෑතකදී හඳුන්වා දුන් Lanka Connect ජංගම යෙදුම හරහා ද පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ද ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම, විදේශගත ශ්‍රමිකයන්ගේ සේවා තොරතුරු යාවත්කාලීන කිරීම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ සබඳතා පවත්වාගෙන යාමේදී ඇතිවන ගැටලු සඳහා මැදිහත්වීම සහ පැමිණිලි විමර්ශනය කිරීම සම්බන්ධයෙන් කාර්යාංශය සහ අමාත්‍යාංශය එක්ව කටයුතු කරන බව ද සඳහන් කරනවා.
ශ්‍රමිකයන් විදේශගත වීමට පෙර ඔවුන්ගේ සේවා ගිවිසුම් පරීක්ෂා කිරීම, වැටුප් සහ අනෙකුත් සේවා කොන්දේසි නිසි පරිදි ඇතුළත් වී ඇති බව තහවුරු කිරීම අදාළ ආයතනවල වගකීමක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.
එමෙන්ම, ශ්‍රමිකයන්ගේ විදේශගත වීම සහ නැවත මෙරටට පැමිණීම ඇතුළු තොරතුරු වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් ද කටයුතු කරමින් සිටින බව සඳහන් කරනවා. මෙම ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම තුළින් ශ්‍රමිකයන්ගේ තොරතුරු කළමනාකරණය වඩාත් ඵලදායී කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කරනවා.
විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක රක්ෂණ සහ සුබසාධන වැඩසටහන් පිළිබඳව කරුණු දක්වමින්, මේ වන විට රක්ෂණ ප්රතිලාභ වශයෙන් ප්‍රතිලාභීන් 619 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 277.15ක මුදලක් ගෙවා ඇති බව ද ඔහු සඳහන් කරනවා.
වත්මන් රජය යටතේ විදේශගත ශ්‍රමිකයන් සඳහා ලබාදෙන මරණ වන්දි මුදල රුපියල් ලක්ෂ 6 සිට රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇති අතර, මේ වන විට ප්‍රතිලාභීන් 50 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබා දී තිබෙන බවටත්, සුබසාධන අරමුදල යටතේ ප්‍රතිලාභීන් 105 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 22.65ක මුදලක් ගෙවා ඇති බව ද ඔහු අනාවරණය කරනවා.
