චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් දොට්ට දමයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් 33 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට එරට පක්ෂ නායකත්වය පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති ෂී ජින්පිංගේ දූෂණ විරෝධී සහ විනය දැඩි කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගෙන ඇති අතර, එය පක්ෂයේ නූතන ඉතිහාසයේ වාර්තා වූ ඉහළම නිලධාරී නෙරපා හැරීමේ සංඛ්‍යාව ලෙස සැලකෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිවාරය මෙවර පැවැත්වුණු අතර, එහිදී නිලධාරීන් විශාල පිරිසක් සහභාගී නොවීම ද විශේෂත්වයක්.

2022 වසරේදී පත්කරන ලද මධ්‍යම කාරක සභාවේ පූර්ණ සහ විකල්ප සාමාජිකයන් 376 දෙනාගෙන් මෙවර සැසිවාරයට සහභාගී වී ඇත්තේ 279 දෙනෙකු පමණයි.

ඒ අනුව, මුල් සාමාජිකයන්ගෙන් සියයට 25.8ක් සැසිවාරයට සහභාගී වී නොමැති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පක්ෂයේ විනය ක්‍රියාමාර්ග හේතුවෙන් ඉවත් කර ඇති බව වාර්තා වී නැහැ.

2012 වසරේ බලයට පත්වීමෙන් පසු ෂී ජින්පිං දූෂණයට එරෙහිව දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, එය පක්ෂයේ සහ රාජ්‍ය පරිපාලනයේ මිලියන සංඛ්‍යාත නිලධාරීන්ට බලපා තිබෙනවා.

ඉහළ පෙළේ දේශපාලන සහ හමුදා නිලධාරීන් රැසක් ද එම වැඩපිළිවෙළ යටතේ ඉවත් කර තිබෙනවා.

චීන හමුදාවේ ඉහළම අණදෙන ආයතනය වන මධ්‍යම හමුදා කොමිසමේ 2022 වසරේ පත්කළ සාමාජිකයන් හත් දෙනාගෙන් පස් දෙනෙකුම මේ වනවිට ඉවත් කර ඇති බව ද වාර්තා වනවා.

මේ අතර, 2027 වසරේ දෙවැනි භාගයේදී බීජිං නුවරදී චීන කොමියුනිස්ට් පක්ෂයේ 21 වැනි ජාතික සම්මේලනය පැවැත්වීමට ද මෙවර සැසිවාරයේදී තීරණය කර තිබෙනවා.

එම සම්මේලනයේදී පක්ෂයේ ඉහළම නායකත්වයේ වෙනස්කම් සිදුකිරීමට නියමිත අතර, ජනාධිපති ෂී ජින්පිං තවත් වසර පහක කාලයක් සඳහා පක්ෂ නායකත්වයේ රැඳී සිටිනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ අපේක්ෂා කරනවා.

චීන කොමියුනිස්ට් පක්ෂය පවසන්නේ දූෂණය සහ විනය විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම තුළින් පක්ෂයේ ශක්තිය සහ එකමුතුකම තවදුරටත් තහවුරු වන බවයි.

කෙසේ වෙතත්, මෙම අඛණ්ඩ පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් චීන නායකත්වයේ ඉහළ පෙළේ වෙනස්කම් සහ බල තුලනය පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ අවධානය යොමුව තිබෙනවා.