මූල්‍ය වංචා සිදුකරන බවට ලද තොරතුරක් අනුව විදෙස් ජාතිකයින් රැඳී සිටි හෝටලයක් සෝදිසියට ලක්කිරීම – පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය.
පානදුර දකුණ පොලිස් වසමේ හෝටලයක් තුළ චීන ජාතිකයින් පිරිසක් විසින් අන්තර්ජාලය හරහා නීති විරෝධී ව්‍යාපාරයක් හෝ මූල්‍ය වංචා සිදු කරන බවට පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ, අනුව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් සිදුකර පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත නල් ඕරුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක් පරික්ෂා කිරීමට ලක්කර තිබෙනවා.
පසුගිය 06 වනදා සහ 07 වනදා යන දිනයන්වල දී මෙම සෝදිසි කිරීම් සිදුකර ඇති අතර, මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, අපරාධ වර්තා කොට්ඨාසය, නිල සුනඛ කොට්ඨාසය හා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සහාය ලබාගැනීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම හෝටලය තුල චීන ජාතිකයින් 32ක් රැඳී සිට ඇති අතර, ඔවුන් විසින් යම් අපරාධයක් සිදුකර ඇතිද යන්න විමර්ශනය කිරීම සඳහා මොවුන් භාරයේ තිබූ පරිගණක 23ක් හා උපාංග පොලිස් භාරයට ගෙන පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.
මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
