චීනය තුළ එම්බාපේගේ තරග විකාශන තහනම තවදුරටත්

ප්‍රංශ පාපන්දු තරුවක් වන කිලියන් එම්බාපේ සම්බන්ධයෙන් චීනය තුළ මතුව ඇති විරෝධය තවදුරටත් පහව ගොස් නොමැති බව පෙන්නුම් කරමින්, රියල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් ඔහු ක්‍රීඩා කළ තරගයක් චීනයේ රූපවාහිනී සහ ඩිජිටල් විකාශන වේදිකා ඔස්සේ විකාශය කෙරුණේ නැහැ.

පසුගිය ඉරිදා පැවැති රියල් මැඩ්රිඩ් සහ රේසිං සැන්ටැන්ඩර් අතර තරගය චීනයේ රාජ්‍ය රූපවාහිනී නාලිකාව වන සීසීටීවී විකාශන කාලසටහනට ඇතුළත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, චීනයේ ප්‍රධාන ඩිජිටල් විකාශන වේදිකාවක් වන මිගු වීඩියෝ ඔස්සේද එම තරගය නැරඹීමට අවස්ථාව හිමිවී නැහැ.

ස්පාඤ්ඤ පාපන්දු ලීගයේ චීන ප්‍රධාන භූමියේ විකාශන අයිතිය හිමිව ඇත්තේ මිගු වීඩියෝ සමාගමටයි. කෙසේ වෙතත්, එදින පැවැති අනෙකුත් ලා ලීගා තරග එම වේදිකාව ඔස්සේ විකාශය කර තිබෙනවා.

මෙම විකාශන අත්හිටුවීම සිදුව ඇත්තේ පසුගිය සතියේ එම්බාපේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් චීන සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීමෙන් අනතුරුවයි.

එම ප්‍රකාශය නූතන චීනයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන මාඕ සේතුංට අගෞරවයක් ලෙස බොහෝ චීන ජාතිකයන් අර්ථකථනය කර තිබෙනවා.

ඒ සමඟම සමාජ මාධ්‍යවලින් ඔබ්බට පැතිර ගිය මෙම විරෝධය හමුවේ චීන රාජ්‍ය රූපවාහිනිය එම්බාපේ සහභාගි වන තරග විකාශය කිරීම මෙන්ම ඔහු සම්බන්ධ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීමද නතර කර තිබුණා.

එමෙන්ම ප්‍රධාන චීන පාරිභෝගික සන්නාම කිහිපයක්ද පාපන්දු තරුව සමඟ පැවති වාණිජ සබඳතා අවසන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම්බාපේ, රියල් මැඩ්රිඩ් කණ්ඩායම සහ ලා ලීගා සංවිධානය පසුගිය සතියේ සමාව ඉල්ලා ප්‍රකාශ නිකුත් කළා.

කෙසේ වෙතත්, චීනය තුළ මෙම විරෝධය තවදුරටත් කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න හෝ එය එම්බාපේගේ වාණිජමය වටිනාකමට දිගුකාලීන බලපෑමක් ඇති කරනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නැහැ.

මේ අතර, එම්බාපේ සමඟ වෙළෙඳ ප්‍රචාරණ ගිවිසුම් පවතින ගෝලීය සමාගම් වන ඔන් හෝල්ඩිංග්ස් සහ එල්වීඑම්එච් සමූහයට අයත් ඩියෝර් සන්නාමයද පසුගිය සතියේ ඔහු ඇතුළත් චීනයට අදාළ සමාජ මාධ්‍ය අන්තර්ගත ඉවත් කර තිබෙනවා.

යුරෝපීය පාපන්දු ලීග සඳහා චීනය තවදුරටත් වැදගත් වෙමින් වර්ධනය වන වෙළෙඳපොළක් ලෙස සැලකෙනවා.

ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පාපන්දු ලෝලීන් සමඟ සම්බන්ධතා ගොඩනැගීම, පාරිභෝගික භාණ්ඩ අලෙවිය සහ සමාගම් අනුග්‍රාහකත්වය හරහා එම වෙළෙඳපොළ තුළ සැලකිය යුතු වාණිජ අවස්ථා පවතින බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

https://www.bloomberg.com/news/articles/2026-11-02/china-s-mbappe-blackout-continues-as-real-madrid-games-dropped