ජාතික තරුණ සේවා සභාවේ හිටපු අධ්‍යක්ෂකට ඇප ලැබෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික තරුණ සේවා සභාවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුමකුට්ටි මනුල චමල් පෙරේරා ඇප මත මුදා හැරීමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (04) නියෝග කළා.

ඒ සැකකරුට ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කරනු ලැබුවා.

ඉදිරි නඩු දින දක්වා ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යාලයට ඇතුලු වීම තහනම් කිරිමට ද මහේස්ත්‍රාත්වරයා එහීදි නියෝග කළා.

සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ සාමපුර ගමේ පිහිටි ඉඩමක් හා එහි පිහිටි ගොඩනැගිල්ලක් රජයේ ඉඩමක් බවට අඟවා අතුරු බදු ගිවිසුම් සකස් කර, එය ජාතික තරුණ සේවා සභාව වෙත බදු පදනමින් ලබාගෙන ඒ සඳහා තුන්වන පාර්ශ්වයක් වෙත අයුතු සහගත හා නීති විරෝධී ලෙස තරුණ සේවා සභාවේ මුදලින් රුපියල් ලක්ෂ 38 ක් ගෙවා ඇති බවයි.

එසේම අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව එකී ගොඩනැගිල්ල අළුත්වැඩියාව සඳහා තරුණ සේවා සභාවේ මුදලින් ලක්ෂ 13ක් අයුතු සහගත ලෙස ගෙවීමට සැලැස්වීම මඟින් රජයට රු.5,100,000/- ක (රුපියල් පනස් එක්ලක්ෂයක) මුදලක් පාඩු කිරීම යන චෝදනාව මත සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙකු (පාලන හා මානව සම්පත් කළමණාකරණ) වූ අරුමකුට්ටි මනුල වමාල් පෙරේරා යන අය මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සැකකරු අද (04) දහවල් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සැකකරු මේ වන විට ජාතික තරුණ සේවා සභාවේ පාලන හා මානව සම්පත් කළමණාකරණ අංශයේ සේවය කරන බවයි අල්ලස් කොමිසම දන්වා සිටියේ.

ජනවාරි 20 නඩුව යළි කැඳවිමට නියමිතයි.