හබරාදූව, ගිනිගල, ඩී.සී අමරසිංහ මාවත ප්රදේශයේ පිහිටි නිවසක මිදුලේ තිබී කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට අද (08) අලුයම පොලිසියට හැකිව තිබෙනවා.
119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුරු දෙක සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ නිවසේ පදිංචිව සිටි බව කියන වයස අවුරුදු 87 සහ 82 යන වයස්වල පසුවූ අවිවාහක කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු මෙලෙස සොයාගැනීමට හැකිව තිබෙනවා.
එක් කාන්තාවකගේ හිසට ගලකින් පහර දී ඝාතනය කර ඇති බවට විමර්ශන සිදුකරන නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇති අතර, අනෙක් කාන්තාවගේ සිරුරේ සිරීම් තුවාල ඇති බවට විමර්ශන නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.
මෙම කාන්තවන් දෙදෙනා අලුයම් කාලයේ මිදුලේ පිහිටි දිවුල් ගසක දිවුල් ඇහිඳීමට ගිය අවස්ථාවේ ඝාතනයට ලක්වන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇති කාන්තාවන් දෙදෙනා විශ්රාමික ගුරුවරියන් බවයි පොලිසිය සඳහන් කළේ.
හබරාදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.










