කළුතර ජාතික සෞඛ්ය විද්යායතනයේ ස්ථාපිත මහජන සෞඛ්ය රසායනාගාර පරීක්ෂක ශිල්පී පුහුණු පාසල, සේවාස්ථ පුහුණු නේවාසිකාගාරය සහ මූලික පුහුණුව සඳහා පැමිණෙන සෞඛ්ය වෘත්තිකයන්ගේ පිරිමි නේවාසිකාගාරය අලුත්වැඩියා කර නවීකරණය කිරීමෙන් අනතුරුව සේවා සඳහා එක් කිරීම සහ අලුතින් ඉදිකරන ලද ශාරීරික ව්යායාම මධ්යස්ථානය විවෘත කිරීම අද (30) පෙරවරුවේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්සගේ ප්රධානත්වයෙන් කළුතර ජාතික සෞඛ්ය විද්යායතන පරිශ්රයේදී සිදු කෙරුණා.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය යටතේ ලෝක බැංකු මූල්ය සහාය ඇතිව ක්රියාත්මක වන ප්රාථමික සෞඛ්ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්යාපෘතිය (Primary Healthcare System Enhancing Project – PHSEP) මඟින් මෙම සියලු සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 176ක මුදලක් වැය කර තිබෙනවා.
නේවාසිකාගාර සඳහා අවශ්ය ගෘහ භාණ්ඩ සහ අනෙකුත් උපකරණ ද මෙම ව්යාපෘතිය යටතේ සපයා ඇති බවයි සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය පවසන්නේ.
සෞඛ්ය වෘත්තිකයන්ගේ පශ්චාත් මූලික පුහුණු, මූලික පුහුණු, සේවාස්ථ පුහුණු සහ ජාත්යන්තර පුහුණු වැඩසටහන් සඳහා පැමිණෙන වෘත්තිකයින් වෙනුවෙන් මෙම නේවාසික පහසුකම් සකස් කර තිබෙනවා.
නේවාසිකාගාර දෙකෙහි සෞඛ්ය වෘත්තිකයන් සියයකට ආසන්න පිරිසකට නේවාසික පහසුකම් සැලසෙන අතර, විශේෂ අවශ්යතා සහිත වෘත්තිකයන්ට ද පහසුකම් සලසා තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස කළුතර ජාතික සෞඛ්ය විද්යායතනය පසුගිය කාලය තුළ සැලකිය යුතු ප්රගතියක් අත්කරගෙන ඇති බව පැවසුවා.
මනා පාරිසරික පසුබිමක පිහිටා ඇති මෙම ආයතනයට පහසුවෙන් ළඟාවිය හැකි වීම ද විශේෂ වාසියක් බව පෙන්වා දුන් අමාත්යවරයා, ඉදිරියේදී මෙය දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ සෞඛ්ය පුහුණු හා පර්යේෂණ කේන්ද්රස්ථානයක් බවට පත්කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද සඳහන් කළා.
එමෙන්ම, ඉදිරි වසර දහය සඳහා වන 2035 දක්වා වූ ජාතික සෞඛ්ය ප්රතිපත්තිය සකස් කර අවසන් කර ඇති බවත්, එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇති බවත් අමාත්යවරයා පෙන්වා දුන්නා.
නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මඟින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයට සමස්තයක් ලෙස රුපියල් බිලියන 590ක මුදලක් වෙන් කර ඇති බව ද අමාත්යවරයා මෙහිදී සඳහන් කළා.
එමෙන්ම මෙරට ක්රියාත්මකවන විශාල ව්යාපෘතිවන ප්රාථමික සෞඛ්ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්යාපෘතිය සඳහා රුපියල් බිලියන 52ක් ද, ද්විතීයික රෝහල් කේන්ද්ර කරගනිමින් ක්රියාත්මක වන ආසියානු සංවර්ධන බැංකු ව්යාපෘතිය සඳහා රුපියල් බිලියන 31ක් ද, හෘද රෝග ඒකක සහ හෘද ශල්යකර්ම ඒකක ඇතුළු තෘතීයික රෝහල් සංවර්ධනය වෙනුවෙන් ජපන් ජාත්යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ව්යාපෘතිය යටතේ රුපියල් බිලියන 25ක් ද වෙන් කර ඇති බවත් අමාත්යවරයා පෙන්වා දුන්නා.
මෙම ව්යාපෘති සියල්ල සහනදායී ණය ආධාර යටතේ ක්රියාත්මක වන බැවින් ඒවා ප්රදාන ලෙස සැලකිය නොහැකි බවත්, ලබාගන්නා ණය සහ ඒ සඳහා වන පොලිය ද ආපසු ගෙවිය යුතු බවත් අමාත්යවරයා අවධාරණය කළා.
එබැවින් වෙන්කරන සෑම රුපියලක්ම සැලසුම් කළ පරිදි, නියමිත කාලසීමාව තුළ සහ උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව වැය කිරීම සියලු දෙනාගේ වගකීම බව ද පැවසුවා.
ප්රාථමික සෞඛ්ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම රජයේ ප්රමුඛ අරමුණක් වන අතර, එය මෙරට සෞඛ්ය සේවාවේ දිගුකාලීන තිරසරභාවය තහවුරු කිරීමේ වැදගත්ම ප්රවේශයක් බව අමාත්යවරයා පෙන්වා දුන්නා.
දැනට පවතින ප්රාදේශීය රෝහල් සහ ප්රාථමික වෛද්ය සත්කාර ඒකකවලින් ආවරණය නොවන ජනතාවට සෞඛ්ය සේවා සමීප කිරීමේ අරමුණින් ‘ආරෝග්යා සුවතා’ මධ්යස්ථාන ස්ථාපිත කිරීම ද සිදු කෙරෙන බව සඳහන් කළ අමාත්යවරයා, මෙම සෞඛ්ය සේවා ආකෘතිය පිළිබඳව ලෝක සෞඛ්ය සංවිධානය ද ජාත්යන්තර සම්මන්ත්රණ හා සාකච්ඡාවලදී අවධානය යොමු කර ඇති බව පැවසුවා.
ව්යාපෘති ක්රියාත්මක කිරීමේදී කාර්යක්ෂමතාව මෙන්ම වේගවත් බව ද අත්යවශ්ය බව අවධාරණය කළ අමාත්යවරයා, හොඳින් කටයුතු කිරීම පමණක් ප්රමාණවත් නොවන අතර නියමිත කාලය තුළ එම කටයුතු අවසන් කිරීම ද අනිවාර්ය බව සඳහන් කළා.
පසුගිය වසර දෙකක කාලය තුළ ව්යාපෘති සඳහා කාලය දීර්ඝ කර ගැනීමට අදාළ කැබිනට් පත්රිකා නිතර ඉදිරිපත් වූ බව සිහිපත් කළ අමාත්යවරයා, ඉදිරියේදී ව්යාපෘති කාලසීමා දීර්ඝ කිරීමේ අවශ්යතාව ඇති නොවන අයුරින් කටයුතු කිරීම අපේක්ෂාව බව ද පැවසුවා.
ව්යාපෘති කාලය දීර්ඝ කිරීම හේතුවෙන් විවිධ අලාභ හා අමතර වියදම් ඇතිවන බවත්, නියමිත කාලසීමාව තුළ ව්යාපෘති අවසන් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ද අවධානය යොමු කර ඇති බවත් අමාත්යවරයා සඳහන් කළා.
ඒ අනුව, ලබන වසරේදී ව්යාපෘති ක්රියාත්මක කිරීමේ කටයුතු තවදුරටත් වේගවත් කළ යුතු බවත්, ඒ සඳහා පවතින බාධා සහ ගැටලු පිළිබඳව නිලධාරීන් කඩිනමින් දැනුම් දිය යුතු බවත් පැවසූ අමාත්යවරයා, එම බාධා ඉවත් කිරීමට අවශ්ය මැදිහත්වීම කඩිනමින් සිදුකරන බව ද අමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
මෙම අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්ය කුමාර වික්රමසිංහ, ඉංජිනේරු සාලින්ද බණ්ඩාර, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය චන්දන ගජනායක, අධ්යක්ෂවරුන් වන විශේෂඥ වෛද්ය සරත් චන්ද්ර කුමාරවංශ, වෛද්ය සමන්ත රණසිංහ, කළුතර ජාතික සෞඛ්ය විද්යායතනයේ අධ්යක්ෂ වෛද්ය කේ. නන්තකුමාරන්, නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය තරංගා නවෝදනී, PHSEP ව්යාපෘති අධ්යක්ෂ ඉංජිනේරු සරත් ලියනගේ, කළුතර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්ය මධුභාෂිණී කරුණාරත්න ඇතුළුව විශේෂඥ වෛද්යවරුන්, වෛද්යවරුන්, හෙද නිලධාරීන් සහ සෞඛ්ය වෘත්තිකයන් පිරිසක් එක්ව සිටියා.
