එක්කෝටි පනස්නව ලක්ෂයකට වැඩි විදෙස් දුම්වැටි සමඟ දෙදෙනෙක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් එක්කෝටි පනස්නව ලක්ෂ අනූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඊයේ (12) පස්වරුවේ මෙම ගුවන් මගීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයන් දෙදෙනෙක්.

මෙම සැකකාර ගුවන් මගීන් දෙදෙනා ඊයේ (12) පස්වරු 06.00ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 04ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 106,600ක් අඩංගු දුම්වැටි කාටූන් 533ක් සඟවා තිබිය දී සොයා ගැනුණා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටිනවා.