හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් ඉෂාර හර්ෂ කුමාර නම් සැකකරු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිවිල් පුද්ගලයින් 08 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 09 දෙනෙකුගෙන් ප්රකාශ සටහන් කර ඇති බව පොලිසිය පවසනවා.
ඉකුත් 25 වැනිදා සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්ය කොට්ඨාසය විසින් අද (30) දිනයේ දී නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ, 2026.10.25 වන දින හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියයාමේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නියෝග පරිදි බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදු කරමින් පවතින බවයි.
මේ වන විට සිද්ධිය සම්බන්ධව පූර්ණ විර්මශනයක් ශ්රී ලංකා පොලිසිය ආරම්භ කර ඇති අතර, මේ සිද්ධිය සම්බන්ධයෙන් සියළුම සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට සිවිල් පුද්ගලයින් 08 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 09 දෙනෙකුගෙන් ප්රකාශ සටහන් කර ඇති බව නිවේදනයේ සඳහන්.
එමෙන්ම 2026.10.24 වන දින මිය ගිය සැකකරු සමඟින් එදින රාත්රීයේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු මේ වන විට බන්ධනාගාර ගතව සිටින බැවින් අධිකරණයෙන් ලබාගත් නියෝග පරිදි ඊයේ (29) දින බන්ධනාගාරයට ගොස් මෙම සැකකරුගෙන් ප්රකාශයක් සටහන් කර ගැනීමටද විර්මශන නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
2026.10.28 දින අත්අඩංගුවට ගන්නා ලද හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සිටි හිටපු උප පොලිස් පරීක්ෂකවරයා 2026.10.29 වන දින හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා 2026.11.12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මිය ගිය සැකකරු 2026.10.24 වන දින රිය අනතුරකින් ප්රතිකාර ලබා ගැනීම සඳහා හෝමාගම රෝහලට ඇඳ හිස පත් අංක 65644/2026 යටතේ පස්වරු 01.05 ට ඇතුළත්ව ඇති අතර එදිනම පස්වරු 05.55 ට අනවසරයෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බවටද විර්මශනයේදී අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධවද අධිකරණයට කරුණු වාර්තා කිරීමට විර්මශන නිලධාරීන් විසින් කටයුතු කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
