ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳාම අත්හිටුවීම හේතුවෙන් 2019 වසරේ සිට මේ දක්වා පාකිස්තානයට අමෙරිකානු ඩොලර් බිලියන 40ක පමණ ආර්ථික පාඩුවක් සිදුව ඇති බව පාකිස්තාන ව්‍යාපාරික සංවිධානයක ප්‍රධානියෙකු පවසනවා.
පාකිස්තාන – ඉන්දියා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති නූර් මුහම්මද් කසූරි සඳහන් කරන්නේ, ඉන්දියාව සහ පාකිස්තානය අතර වෙළෙඳ සබඳතා යළි ආරම්භ කිරීම දෙරටේම ව්‍යාපාරික ක්ෂේත්රවලට වාසිදායක වනු ඇති බවයි.
2019 වසරේ පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව දෙරට අතර උද්ගත වූ ආතතිකාරී තත්ත්වය හමුවේ වෙළෙඳ කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
එම තීරණය හේතුවෙන් පාකිස්තාන ව්‍යාපාරිකයන්ට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ දුරස්ථ වෙළෙඳපොළවලින් ආනයනය කිරීමට සිදුව ඇති බව කසූරි පෙන්වා දෙයි. ඒ හේතුවෙන් ප්‍රවාහන හා නැව්ගත කිරීමේ පිරිවැය මෙන්ම භාණ්ඩ බෙදාහැරීමට ගතවන කාලය ද ඉහළ ගොස් තිබෙනවා.
පාකිස්තානයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සඳහා ඉන්දියාව වැදගත් වෙළෙඳපොළක් බවත්, ඉන්දියාවෙන් එම අමුද්‍රව්‍ය ආනයනය කිරීමට හැකිවන්නේ නම් වාර්ෂිකව ඩොලර් බිලියන 2ත් 3ත් අතර මුදලක් ඉතිරි කරගත හැකි බවත් ඔහු සඳහන් කරනවා.
එමෙන්ම, දේශීය කපු නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් පාකිස්තානයේ රෙදිපිළි කර්මාන්තයට ද දැඩි පිරිවැය බරක් පැටවී තිබේ. ඒ අනුව, රෙදිපිළි කර්මාන්තශාලා සඳහා අවශ්‍ය කපු බ්‍රසීලය, ඊජිප්තුව, චීනය සහ අමෙරිකාව වැනි රටවලින් ආනයනය කිරීමට සිදුව ඇති අතර, ඒ සඳහා අමතරව ඩොලර් බිලියන 5ක පමණ මුදලක් වැය වී ඇති බව කසූරි පවසනවා.
සීනි, පොහොර, සිමෙන්ති, ඛනිජ තෙල් නිෂ්පාදන, යකඩ හා වානේ, එළවළු සහ බර යන්ත්‍රෝපකරණ ඇතුළු භාණ්ඩ ද ඉන්දියාවෙන් පහසුවෙන් ලබාගත හැකි වුවද, පාකිස්තානයට ඒවා දුරස්ථ වෙළෙඳපොළවලින් ආනයනය කිරීමට සිදුව ඇති බව ඔහු පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම, ඉන්දියාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන පාකිස්තානයට භූගෝලීය වශයෙන් සමීපව පිහිටා ඇති බැවින්, එරටින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමෙන් අඩු පිරිවැයකින් සහ කඩිනමින් සැපයුම් ලබාගත හැකි බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
මේ අතර, පාකිස්තානයේ සාම්ප්‍රදායික කපු වගා ප්‍රදේශවල ගොවීන් කපු වගාව අතහැර උක් වගාවට යොමුවීම පිළිබඳව ද කසූරි කනස්සල්ල පළ කර තිබෙනවා.
එම තත්ත්වය රටේ රෙදිපිළි කර්මාන්තයට මෙන්ම සමස්ත ආර්ථිකයට ද අහිතකර ලෙස බලපාන බැවින්, දේශීය කපු නිෂ්පාදනය යළි නඟාසිටුවීම සඳහා වඩාත් ඵලදායී කෘෂිකාර්මික ප්‍රතිපත්ති අවශ්‍ය බව ඔහු අවධාරණය කරනවා.
ඉන්දියාව සමඟ වෙළෙඳාම යළි ආරම්භ කිරීමෙන් දෙරටේ ව්‍යාපාරික ක්ෂේත්රවලට වාසි සැලසෙනවා පමණක් නොව, ආයෝජන, සංචාරක කර්මාන්තය සහ කලාපීය සහයෝගීතාව සඳහා ද නව අවස්ථා නිර්මාණය වනු ඇති බව ඔහු පවසනවා.
විශේෂයෙන්ම, ඉන්දියාවේ ආගමික හා ඓතිහාසික ස්ථාන නැරඹීමට මෙන්ම තම මුතුන්මිත්තන්ගේ ගම්මාන සහ නිවාස සොයා යාමට කැමැත්තක් දක්වන ඉන්දීය සංචාරකයන්ට පාකිස්තානය ආකර්ෂණීය ගමනාන්තයක් විය හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.
කලාපීය ආර්ථික සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරමින් ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ද මෙහිදී උදාහරණයක් ලෙස ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේදී ඉන්දියාව ලබාදුන් මූල්‍ය සහයෝගය, දුෂ්කර අවස්ථාවලදී අසල්වැසි රටවල් එකිනෙකාට සහාය විය හැකි ආකාරය පිළිබඳ නිදසුනක් බව කසූරි සඳහන් කරනවා.
දේශපාලන මතභේද හේතුවෙන් දෙරටටම ප්රතිලාභ සැලසිය හැකි ආර්ථික අවස්ථා අහිමි කර නොගත යුතු බවත්, පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකි බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.
ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින ඓතිහාසික, සංස්කෘතික සහ පවුල් සබඳතා දෙරට අතර යහපත් සබඳතා යළි ගොඩනැඟීම සඳහා ශක්තිමත් පදනමක් විය හැකි බව ද පාක්-ඉන්ඩියා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
