පාකිස්තාන හමුදාව ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් ඉලක්ක කරමින් එල්ල කළ ප්රහාර යුද අපරාධ විය හැකි බව
ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු රිචඩ් බෙනට් පවසනවා.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ හා ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
කාබුල් අගනුවර පිහිටි මත්ද්රව්යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්යස්ථානයට පාකිස්තාන හමුදා එල්ල කළ ගුවන් ප්රහාරය ඇතුළු සිදුවීම්වලින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු සිවිල් වැසියන් මියයාම සම්බන්ධයෙන් බෙනට් මෙලෙස අදහස් පළ කර තිබෙනවා. වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටුවිය යුතු බව ද ඔහු සඳහන් කළා.
බීබීසී පුවත් සේවය සමඟ අදහස් දක්වමින් බෙනට් කියා සිටියේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙම සිදුවීම් විමර්ශනය කිරීම සඳහා විශේෂ යාන්ත්රණයක් මෙතෙක් පිහිටුවා නොමැති බවයි.
කෙසේ වෙතත්, දැනට පවතින ස්වාධීන විමර්ශන යාන්ත්රණයක් මගින් ඒවා විමර්ශනය කළ හැකි බවත්, ජාත්යන්තර අපරාධ අධිකරණය ද මෙම ප්රහාර පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් ඔහු පවසා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ඇෆ්ගනිස්ථාන සහාය මෙහෙයුම හෙවත් යුනමා සංවිධානය 2026 ඔක්තෝබර් පළමුවැනිදා නිකුත් කළ වාර්තාවකට අනුව, 2026 ජනවාරි පළමුවැනිදා සිට පාකිස්තානය දේශසීමා හරහා එල්ල කළ ප්රහාරවලින් ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් 1,100කට අධික පිරිසක් මියගොස් හෝ තුවාල ලබා තිබෙනවා.
එමෙන්ම, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නවතම වාර්තාවට අනුව, 2023 ජනවාරි පළමුවැනිදා සිට 2025 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ පාකිස්තාන ආරක්ෂක අංශ දේශසීමා හරහා එල්ල කළ ෂෙල් වෙඩි ප්රහාර සහ ගුවන් ප්රහාර හේතුවෙන් ළමයින් 159 දෙනකු මියගොස් හෝ තුවාල ලබා තිබෙනවා.
