අයහපත් කාලගුණය හමුවේ මුහුදු ගිය ධීවරයන් තිදෙනෙක් අතුරුදන්

මුලතිව්, පුදුමාත්තලන් මුහුදු තීරයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් සිටි ධීවරයන් තිදෙනෙක් අතුරුදන්ව තිබෙනවා.

එම ධීවරයන් සොයා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීමට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ උපදෙස් අනුව පියවර ගෙන තිබෙනවා.

අතුරුදන් වූ ධීවරයන් කඩිනමින් සොයා ගෙන මුදා ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ප්‍රමාදයකින් තොරව ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා සහ ගුවන් හමුදාපතිවරයා සමඟ සම්බන්ධ වෙමින් සෝදිසි හා මුදා ගැනීමේ මෙහෙයුම් තීව්‍ර කිරීම පිළිබඳව අමාත්‍යවරයා සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙරේදා (26) දිනයේදී පෙරවරු 7.30ට පමණ මුලතිව්, පුදුමාත්තලන් ප්‍රදේශයෙන් MLT/1742 දරන යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයන් තිදෙනකු මෙලෙස අතුරුදන් වී තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මුලතිව්, අම්බලවන් පොක්කනෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ඇන්තනි ජුඩ්, යාපනය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ශ්‍රී පුෂ්ප රාජා සහ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මුහම්මද් රිස්වාන් යන ධීවරයන් තිදෙනෙක්.

මුහුදේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ රළු ස්වභාවය හේතුවෙන් සෝදිසි මෙහෙයුම් වලට බාධා එල්ල වී ඇති බව ද වාර්තා වනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මුහුදු මාර්ගයෙන් සිදු කරන සෝදිසි මෙහෙයුම් වලට අමතරව ගුවන් මාර්ගයෙන් ද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, අතුරුදන් වූ ධීවරයන් සෙවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් යොදා ගැනීමට පියවර ගෙන ඇති අතර අද (28) පෙරවරුවේ සිට ගුවන් මාර්ගයෙන් සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබෙනවා.