යුරෝපීය රන් පදක්කමක් දිනාගත් සහ ඔලිම්පික් ක්රීඩා උළෙල දෙකකට සහභාගී වූ අයර්ලන්ත මධ්යම දුර ධාවන ක්රීඩිකා සියාරා මැගියන් (Ciara Mageean) වයස අවුරුදු 34 දී ජීවිතක්ෂයට පත්වූ බවට වාර්තාවෙනවා.
උතුරු අයර්ලන්තයේ පෝටෆෙරි (Portaferry) පදිංචිකාරියක වූ ඇය, මහා බඩවැල් පිළිකාවක් (stage four bowel cancer) හේතුවෙන් ජීවිතක්ෂයට පත්වි තිබෙනවා.
මීටර් 1500 ඉසව්වට විශේෂිත වූ මැගියන්, අයර්ලන්තයේ සිටි වඩාත්ම කැපී පෙනෙන ක්රීඩිකාවන්ගෙන් අයෙකි. ඇය 2016 රියෝ ඔලිම්පික් සහ 2020 ටෝකියෝ ඔලිම්පික් යන ක්රීඩා උළෙල දෙකේදීම අයර්ලන්තය නියෝජනය කළ අතර, අයර්ලන්ත වාර්තා රැසකට ද හිමිකම් කීවා.
රෝමයේ පැවති 2024 යුරෝපීය ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගනිමින්, සෝනියා ඕ’සලිවන්ගෙන් (Sonia O’Sullivan) පසුව යුරෝපීය ශූරතාව දිනාගත් පළමු අයර්ලන්ත ක්රීඩිකාව බවට ඇය පත්වුණා. කෙසේ වෙතත්, පාදයේ ඇති වූ ආබාධයක් (Achilles injury) හේතුවෙන් ඇයට 2024 ඔලිම්පික් ක්රීඩා උළෙලට සහභාගී වීමට නොහැකිවුණා.
ඉන් පසු වසරේදී, තමන්ට පිළිකාවක් වැළඳී ඇති බව මැගියන් ප්රකාශ කළා. ඇය මිය යාමට සති කිහිපයකට පෙර, එනම් ඔක්තෝබර් මාසයේදී ඇයගේ සහකරු තෝමස් මොරන් (Thomas Moran) සමඟ විවාහ වී තිබුණා.
ඇයගේ වියෝව සම්බන්ධයෙන් අයර්ලන්ත අගමැති (Taoiseach) මයිකල් මාටින් (Micheál Martin), අයර්ලන්ත නියෝජ්ය අගමැති (Tánaiste) සයිමන් හැරිස් (Simon Harris), උතුරු අයර්ලන්තයේ ප්රථම අමාත්ය (First Minister) මිෂෙල් ඕ’නීල් (Michelle O’Neill), නියෝජ්ය ප්රථම අමාත්ය එමා ලිට්ල්-පෙන්ගෙලි (Emma Little-Pengelly) ඇතුළු එරට දේශපාලනඥයන් රාශියක්ම ශෝකය පළකර තිබෙනවා.
