අධික වර්ෂාපතනයෙන් හැටන් වලට දැඩි බලපෑම්

පවතින අධික වර්ෂාපතනය හේතුකොටගෙන හැටන් නගරයට දැඩි බලපෑමක් සිදුවී තිබෙනවා.

අද පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවෙන් හැටන් නගරයේ බස් නැවතුම්පොල වැසි ජලයෙන් යටවී, හැටන් නගරයේ ප්‍රධාන මාර්ගය දිගේ වැසි ජලය ගලා යෑම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධාවක් එල්ලවුණා.

හැටන් බස් නැවතුම්පොළට ඉහළින් වූ ගාමිණිපුර ප්‍රදේශයෙන් බස් නැවතුම්පොළට විශාල ජල පහරක් ගලා ඒම හේතුවෙන් එම ස්ථානයේ නායයෑමේ අවධානමක්ද පවතිනනවා.

මේ අතර, පවතින වර්ෂාවත් සමග හැටන් කලාප කාර්යාලයේ ගිනුම් අංශයේ කොටසට ජලය කාන්දු වීමෙන් එහි නිළධාරින් දැඩි අපහසුතාවයට පත් වී තිබෙනවා.

ජලය කාන්දු වීමත් සමග එම කලාප කාර්යාලයේ ගිනුම් අංශයේ විදුලි උපකරණ රැසකට සහ ලිපි ගොණු ගණනාවකට හානි සිදුවුණා.

දීපාවලී උත්සවය නිමිත්තෙන් පිට පළාත් වලින් හැටන් නගරයට පැමිණ සිටින ඇතැම් ව්‍යාපාරිකයන් , එම වෙළදසැල්වල ඉවතලන කැලි කසල මලු පිටින් වැසි ජලය ගලා යන ප්‍රධාන මාර්ගයට හා ජල පහරට වීසි කිරිම හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබෙන බවටත් වාර්තාවෙනවා.

ඒ අතර, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයෙන් මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇන හිට තිබෙනවා.

ඒ වගේම හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයාගේ නිළ නිවසේ පහත මහළ ජලයෙන් යට වී ඇති බවටත් වාර්තාවෙනවා.