AFC Banner
Empty Ad
Empty Ad

ශුද්ධෝත්තම පාප්වහන්සේ ගෙන් මෙරට බලධාරීන්ට විශේෂ ඉල්ලීමක්

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කර වගකිවයුත්තේ කවුදැයි නිශ්චිතවම පැහැදිළි කරන්නැයි ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවට අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් අද වතිකානයේ ශාන්ත පීතර චත්‍රරස්‍රයේදී අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය අයැද සිටිමේ විශේෂ දිව්‍ය පූජාව ඉතාලි වේලාවෙන් අද පෙරවරු 10ට පමණ ආරම්භ වූයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදීය.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස ශාන්ත පීතර බැසිලිකාව වෙත පැමිණ සිටියා.

මෙරට කතෝලික පදවි නියෝජනය කරන රදගුරුතුමන්ලා, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් 35 දෙනෙකු සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තුන්දහසකට අධික පිරිසක් දිව්‍ය පූජාව සඳහා සහභාගි වී සිටියා.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති අති උතුම් වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් විසින් දිව්‍ය පූජා යාගයේ දේශනය පවත්වනු ලැබුවා.

දිව්‍ය පූජා යාගය අවසානයේ ශාන්ත පීතර බැසිලිකාව වෙත පැමිණි අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට අශිර්වාද කර සිටියා.

මෙහිදී මෙම විශේෂ හමුව සිහිවීමට කාදිනල් හිමිපාණන් විසින් ෆ්‍රැන්සිස් පාප්වහන්සේට උත්තාන වූ කිතු සමිඳුන්ගේ ප්‍රතිමාවක්ද සිහිවටනයක් ලෙස පිළිගැන්වනු ලැබීය.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

“ශුද්ධෝත්තම පියතුමෙනි, එම වේදනාබරිත මොහොතේ අප හා සහෝදරත්වයෙන් ඒකාත්මක වූ මගේ රටේ ගරුතර මහානායක හිමිවරුන් සහ සංඝරත්නය මේ මොහොතේ ගෞරවයෙන් සිහි කරනවා. එමෙන්ම පියාණනි එම ඛේදජනක මොහොතේ අප හා ළෙන්ගතුව කටයුතු කරමින් සැබෑ එඩේරෙකු ලෙස කටයුතු කිරීම ගැන ඔබවහන්සේටත් ස්තූතියි.”

අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ

“හිතාදර කාදිනල්තුමෙනි, මෙම සිදුවීමේ සත්‍ය හෙළිදරව් කර වගකිවයුත්තේ කවුදැයි නිශ්චිතවම පැහැදිළි කර ඔබේ ජනතාව වෙනුවෙන් සාධාරණත්වය ඉටුකරන්නැයි ඔබේ රටේ බලධාරින්ගෙන් ඉල්ලීමක් කරන්නට මම මෙය අවස්ථාවක් කර ගන්නවා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?