කොළඹ ගාලූමුවදොර පිටියේ අද (09 දා) දින පැවැත්වීමට නියමිතව ඇති බව කියන දැවැන්ත උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයන් කලහකාරී ලෙස හැසිරීමට උත්සාහ කළහොත් ඊට මුහුණදීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සීරුවෙන් තබා ඇත.
පොලිස් කැරලි මර්දන ඒකක මෙන්ම බස්නාහිර පළාතේ වෙනත් පොලිස් කොට්ඨාසවලින් විශේෂ පොලිස් කණ්ඩායම් කොළඹට කැඳවා ඇති අතර අවශ්‍ය වූවොත් යුදහමුදාවේ ආරක්‍ෂාව ද ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ මෙම උද්ඝෝෂණයට පැමිණෙන පුද්ගලයන් කලහකාරී ලෙස හැසිරීමට කටයුතු නොකර සාමකාමීව සිය විරෝධතාව දැක්වීමට කටයුතු කළහොත් කිසිම ගැටලූවක් නොවන බවයි.
එසේ නොකර කලහකාරී ලෙස හැසිරෙමින් ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ ප‍්‍රභූ නිවාස වලට ඇතුළුවීමට උත්සාහ කළහොත් බලය පාවිච්චි කර එය නතර කිරීමට කටයුතු කරන බවද එම නිලධාරියා කියා සිටියේය.
මෙම උද්ඝෝෂණය සඳහා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පුළුල් ප‍්‍රචාරයක් ලබාදී ඇත.














