AFC Banner
Empty Ad
Empty Ad

ගෙවත්තේ නිදන් හෑරූ තිදෙනෙකු පොලිස් දැලේ…

හොරොව්පොතාන මොරවැව ප්‍රදේශයේ ගෙවත්තක නිධානයක් හාරමින් සිටි බවට සැකපිට පුද්ගලයන් තුන්දෙනෙකු (26) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

අත්අඩංගුවට ගනු ලැබූවන් අතර නිධානය හෑරූ බව කියන ගෙවත්තේ හිමිකරු සහ ඔහුගේ පුතා සිටින බවත් අනෙක් සැකකරු ඔවුන්ගේ අසල්වැසියෙකු බවත් පවසන පොලිසිය සැකකරුවන් මොරවැව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවද වැඩිදුරටත් කියයි.

(26) සවස එකට පමණ පොලිසිය විසින් මෙම වැටලීම සිදුකොට තිබේ.

ප්‍රධාන සැකකරුගේ නිවසේ සිට මීටර් පණහක් පමණ පිටුපසට වන්නට පිහිටි උස්බිමක මෙම නිධානය හාරා ඇති බව පවසන පොලිසිය තමන් එම ස්ථානයට යන විටත් සැකකරුවන් පොළොව කැණීම් කරමින් සිටි බවද කියයි.

කිසිවෙකුට සැක නොසිතන පරිදි ඊට පෙර දින සැකකරුවන් විසින් කුඩා ප්‍රමාණයේ බැකෝ යන්ත්‍රයක් ගෙන්වා නිවස පිටුපස පොල් වළවල් කිහිපයක් කපා එම බැකෝ යන්ත්‍රයෙන්ම නිධානය හෑරූ බව කියන ස්ථානයේ ගල් කිහිපයක් පෙරළා ගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරීන් පැවසූහ.

සැකකරුවන් අඩි නවයක් පමණ යටට පොළොව හාරා තිබු බව වැටලීමට එක්වූ නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.

ඒ අනුව සැකකරුවන් සන්තකයේ තිබූ විදුලියෙන් ක්‍රියාත්මක වන වතුර මෝටරයක්, යකඩ ඉනි පහක්, වයර් රෝලයක්,පිකස් එකක්,උදළු එකක්, යකඩ මිටි දෙකක් , ඇතුළු භාණ්ඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(27) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දායානන්ද මහතාගේ අධීක්ෂණය යටතේ තව දුරටත් පරික්ෂණ මෙහෙයවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?