1986 අගෝස්තු මාසේ 12 වෙනිදා වයඹදිග කැමරූන්හි පිහිටි නියෝස් ජලාශය ආශ්‍රිත ගම්මානවලට කිසිත් කිසිදා නොසිතූ අන්දමේ එක්තරා භයංකාර ඉරණමකට මුහුණ දෙන්න සිදුවුනා.
පසුදා අවදිවීමේ සුපුරුදු බලාපොරොත්තුවෙන් නින්දට වැටුනු ගම්වැසියන් මේ නිදන්නේ තම අවසන් නින්ද බව සිහිනෙන් හෝ නොසිතන්නට ඇති. එදා රාත්‍රියේ සියල්ලන්ම නින්දෙන් පසුවන අතරේ මේ ගම්මානයේ සෑම නිවසක් කරාම මාරයා පැමිණ තිබුනේ කුණාටුවක් තරම් වේගයකින් නමුත් තුරුපත් සැලෙන තරමේ හෝ හඬක් නොනගමින්. ප්‍රතිඵලය වුනේ ගම්වාසීන් 1746 දෙනෙකු සහ සත්වයින් 3500කට අධික පිරිසක් නින්දෙන්ම මරණය වැලඳ ගැනීමයි. යාන්තමින් මාරයාගේ බිල්ලට හසු නොවී ජීවත් වීමේ වරම ලැබුනේ හයදෙනෙකුට පමණයි.ඒ හය දෙනා හැරුනු කොට ගෙවීගිය රාත්‍රියේ ඒ ප්‍රදේශයේ පොළව මත පයගසා සිටි සෑම ජීවියෙක්ම නින්දෙන්ම මරණය වැළඳගෙන තිබුනා.මියගිය ඇතැමුන්ගේ නාසය සහ මුඛය අවට රුධිර පැල්ලම් පෙනෙන්නටද තිබුනා…
ඇත්තෙන්ම එදා රාත්‍රියේ සිදුවූයේ කුමක්ද..? මේසා පිරිසක් එක රැයකින් රහසින්ම ඝාතනය වුනේ කෙසේද..? එය දේව ශාපයක්ද… අන්තරීක්ෂ ජීව කොට්ටාසයක බලපෑමක්ද… නැතිනම් වෙනත් ජීව විද්‍යාත්මක බලපෑමක්ද..! පරීක්ෂකයන් මේ සිදුවීමේ ඇතුලාන්තය හොයන්න වෙහෙසුනා. අවසානයේ මේ දරුණු ඝාතකයා සොයාගැනුනා. ඒ තමයි මේ සියල්ල දෙස නිසොල්මනේ බලාසිටි නියෝස් ජලාශය. නියෝස් ජලාශය නිර්මාණය වෙලා තියෙන්නේ ගිනිකඳු ආවාටයක. ගිනිකඳු ආවාටයට ඇතුලතින් භූමි අභ්‍යන්තරයේ සිදුවන ප්‍රතික්‍රියා නිසා බොහෝවිට මේ නයෝස් ජලාශයේ ජලයේ ඉහළ කාබන්ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණයක් දියවී පවතිනවා. එදා රාත්‍රියේ සිදුවී තිබුනේ මේ විදියට ජලාශයේ ජල ස්ථරයට යටින් සිරවී තිබූ ටොන් ගණනක කාබන්ඩයොක්සයිඩ් වායු පරිමාවක් කිසියම් හේතුවක් නිසා එක්වරම මතුපිටට පැමිණීමයි.
හරියටම කාබන්ඩයොක්සයිඩ් බෝම්බයක් පිපිරුනා වගේ එක පාරටම. කාබන්ඩයොක්සයිඩ් වායුව සාමාන්‍යය වායුගෝලයේ ඝනත්වයට වඩා වැඩි ඝනත්වයකින් යුක්ත වන නිසා මේ විදියට නිදහස් වුන වායුව වායුගෝලයේ ඉහළ නගිනු වෙනුවට ජලාශයේ සිට කිලෝමීටර 25ක අරයක් තුල පවතින සියළුම පහළ ගම්මාන ප්‍රදේශ කරා පැයට සැතපුම් 62ක (එනම් පැයට කිලෝමීටර 100) පමණ වේගයකින් සුනාමියක් මෙන් ගලාගොස් තිබුනා. අවසානයේ කිසිත් නොදැන නිදාසිටි මිනිසුන්ගේ හිසට ඉහළින් මීටර් කීපයක ගණකමකින් යුක්ත කාබන්ඩයොක්සයිඩ් වායු ස්ථරය පාවෙමින් තිබුනා.
මිනිසා ඇතුළු සත්වයන්ගේ ජීව ක්‍රියාවලිය සඳහා අවශ්‍යය වායුව වන්නේ ඔක්සිජන් වායුවයි. නමුත් සෛලීය පරිවෘත්තිය ක්‍රියාවලදී නිශ්පාදනය වන අපද්‍රව්‍ය වායුව තමයි කාබන්ඩයොක්සයිඩ් වායුව. සත්වයන් ආශ්වාසයේදී ඔක්සිජන් අරගෙන ප්‍රාස්වාසයේදී කාබන්ඩයොක්සයිඩ් පිටකරන්නේ ඒ නිසයි. යම් හෙයකින් මේ ඔක්සිජන් වායුව අපට නොලැබුනහොත් කුමක් වේද. එවිට නිසැකවම සිදුවන්නේ ශරීරයේ ජීව ක්‍රියාවලි පවත්වාගත නොහැකිව අප මරණයට පත්වීමයි. එදා නියෝස් ජලාශය අවට මිනිසුන්ට සහ සතුන්ට සිදුවුනේද එයමයි.
දැඩි කාබන්ඩයොක්සයිඩ් ස්ථරයක ගිලීසිටි ඔවුන් හුස්මගැනීමට නොහැකිව(එනම් ශරීරයට අවශ්‍යය ඔක්සිජන් වායුව නොලැබ) මියගියේ ඒ අයුරෙන්. මේ සිදුවීමෙන් පසුව වසර ගණනාවක් යනතෙන් මේ ප්‍රදේශවල කිසිවෙකු ජීවත් වුනේ නැහැ.නමත් සිදුවීමෙන් දීර්ඝ කාලයකට පසු නැවතත් ඒ ප්‍රදේශ ජනාවාස වී තිබෙනවා.අනාගතයේදී මෙවැනි ඛේදවාචක ඇතිවීම වැළැක්වීමේ අරමුණින් 2001 වසරේදී විද්‍යාඥයන් විසින් නියෝස් ජලාශ පතුලේ සිරවී පවතින කාබන්ඩයොක්සයිඩ් වායුව ඉවත් කර ඉහළ වායුගෝලයට නිදහස් කිරීම සඳහා විශේෂිත නළ පද්ධතියක් නිර්මාණය කර ජලාශ පතුලේ සවිකල නිසා එතැන් පටන් ඒ අවට මිනිසා සහ සත්වයා ආරක්ෂාවේවි. සියල්ල සාර්ථකව විසඳුනත් මේසා විශාල කාබන්ඩයොක්සයිඩ් වායු පරිමාවක් එකවරම නිදහස් වීමට හේතුවූයේ කුමක්දැයි යන්න පිළිබඳ තවම ඇත්තේ ප්‍රශ්ණාර්ථයක්. ඇතැමුන් එය විල් පතුලේ භූ තැටිවල සිදුවූ සුළු වෙනස්කමක් යැයි මතයන් ඉදිරිපත් කර තිබුනත් එය පවා තවම සනාත වී නැහැ.
මේ අතරේ මීට වෙනස්ම මතයක්ද ගොඩනැගී පවතිනවා.එනම් මෙයට මුල්වූයේ ඊශ්‍රායල සහ කැමරූන් හමුදා එක්ව සිදුකල රහසිගත බෝම්බ අත්හදා බැලීමක් යන්නයි. මේ සිදුවීමට වසර දෙකකට පෙර මේ ආශ්‍රිත ප්‍රදේශයකම මෙවැනි කාබන්ඩයොක්සයිඩ් නිදහස් වීමකින් මිනිස් ජිවිත 37ක් අකාලයේ මියයෑම මේ හමුදා කුමන්ත්‍රණ මතයට පක්ෂව ඔවුන් නගන ප්‍රබල සාක්ෂියයි. නමුත් සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න දන්නා කිසිවෙකු තවමත් ලොව නැත.














In 1986 somewhere in the world a natural dissaster of CO2 chemical gas happened due to the influence of upthrust of the stagnant mud, soil in the sole of the lake.
It is same as TSUNAMI happened. It happened due to the floor layers movements underground area of the sea.