කාන්තාවක් විසින් සිය 30 හැවිරිදි වියේ පසු වූ ස්වාමිපුරුෂයා අතුරුදන්ව ඇති බවට පසුගිය 24 වනදා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.
කරුවලවත්ත, මුරුතලාව ප්රදේශයේ පදිංචිව සිටි එම පුද්ගලයා කැස්බෑව ප්රදේශයේ මිතුරෙකු හමුවීමට යන බවට බිරිඳ විසින් පැමිණිල්ල සිදුකරමින් අවසන් වරට දන්වා සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම පැමිණිල්ලට අනුව විමර්ශන ඇරඹු පේරාදෙණිය පොලිසිය සිද්ධිය පිළිබඳව කැස්බෑව පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු කැස්බෑව පොලිස් ස්ථානය මගින් ද මෙම අතුරුදන්වීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
කැස්බෑව පොලිස් ස්ථානය මගින් සිදුකරන ලද විමර්ශනයේ දී මෙම අතුරුදන්වූ පුද්ගලයා 2026.11.23 වන දින උදෑසන කාලයේදී කැස්බෑව ප්රදේශයේදී මිතුරෙකු හමුවී ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.
එහිදී ඇති වූ ආරවුලක් හේතුවෙන් මිතුරා විසින් තවත් පිරිසක් සමඟ මෙම පුද්ගලයා පොල්ගස්ඕවිට ප්රදේශයේ දී ඝාතනය කර කැලෑබද ප්රදේශයක වළ දමා ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ.
ඒ, අනුව මේ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් ඊයේ (28) දිනයේ කැස්බෑව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 20, 36 හා 37 වයස්වල පසුවන මඩපාත හා පොල්ගස්ඕවිට යන ප්රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
මේ අතර අද (29) දිනයේ ඝාතනයට ලක්වූ පුද්ගලයා වළ දමා ඇති ස්ථානය සම්බන්ධව ස්ථානීය පරීක්ෂාවක් අද (29) දිනයේ කැස්බෑව මහෙස්ත්රාත්වරයා විසින් සිදුකිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
