Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය සංශෝධනයට නීතිපති උපදෙස් ගැනීම ගැන කාරක සභාවේ අවධානය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.

විශේෂයෙන්ම, ගුරු ස්ථාන මාරුවීම්, පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය, පෙර පාසල් අධ්‍යාපනය, පාසල් දිවා ආහාර
වැඩසටහන සහ විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඒ එම කාරක සභාව ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් පසුගියදා 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙහිදී එකම පාසලක වසර 10කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදු කිරීමේදී පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා වුණා.

විශේෂයෙන්ම ගුරු මාරු මණ්ඩලය විසින් තීරණය කර ඇති කිලෝමීටර් 30ක දුර සීමාව, හම්බන්තොට, පොලොන්නරුව සහ අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවල දුරස්ථ පාසල් සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු මතු කරන බැවින් එම සීමාව නැවත සමාලෝචනය කරන ලෙස මාරු මණ්ඩලයට දැනුම් දීමට කාරක සභාව විසින් තීරණය කරනු ලැබුවා.

එමෙන්ම, ඇතැම් ජාතික පාසල්වල වසර 10කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ට වෙනත් ජාතික පාසල් නොමැතිවීම හේතුවෙන් ස්ථාන මාරුවීම් ලබා ගැනීමේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා.

ඒ අනුව, ස්ථාන මාරුවීම් සඳහා පමණක් ජාතික පාසල් සහ පළාත් පාසල් අතර ගුරුවරුන් මාරු කිරීමේ හැකියාව පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය වුණා.

ගුරු සේවා කාලය සම්බන්ධ තොරතුරු ඇතැම් පාසල්වලින් නිවැරදිව ඉදිරිපත් නොකිරීම සහ ගුරු දත්ත පද්ධතියේ පවතින අඩුපාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

ඒ අනුව, අදාළ තොරතුරු වසන් කරන බවට සැක කෙරෙන පාසල් වෙත භෞතිකව ගොස් පරීක්ෂා කිරීමටත්, ගුරු දත්ත පද්ධතියේ තොරතුරු යාවත්කාලීන කර සේවා කාලය නිවැරදිව ගණනය කිරීමටත් පියවර ගැනීම පිළිබඳව සාකච්ඡා වුණා.

උතුරු පළාතේ ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය වෙනුවට 2027 වසරේ සිට ක්‍රියාත්මක වන නව ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද මෙහිදී අවධානය යොමු විය. පාසල්වල අඩක් නිමකර අතහැර දමා ඇති ගොඩනැගිලි සහ වැඩ අවසන් කර තිබියදීත් පාසල් වෙත භාර නොදුන් ගොඩනැගිලි සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

විශේෂයෙන්ම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් අවසන් කර භාර නොදීම හේතුවෙන් එහි ශබ්ද පාලන පැනල සහ වායු සමීකරණ පද්ධති විනාශ වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදු කිරීමට තීරණය වුණා.

දිස්ත්‍රික් මට්ටමින් පාසල් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා වූ අතර, වවුනියාව දිස්ත්‍රික්කයේ චෙම්බලම්කුලම් සහ තාජනිකුලම් පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකකවල අඩුපාඩු සපුරාලීම
සඳහා පළාත් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කෙරුණා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් පාසල් පහක ව්‍යාපෘති 21න් ව්‍යාපෘති 12ක් සඳහා ඇස්තමේන්තු අනුමත කර ප්‍රතිපාදන ලබාදීමට ද තීරණය කර තිබෙනවා.

පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් සකස් කර තිබුණද එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් පළාත් සභා සහ අදාළ අමාත්‍යාංශ අතර පවතින වගකීම් බෙදීයාම හේතුවෙන්
මතුවන පරිපාලන හා අධීක්ෂණ ගැටලු විසඳීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරුණා.

පාසල් සිසුන් සඳහා ලබාදෙන නොමිලේ දිවා ආහාර වැඩසටහනේදී නිකුත් කර ඇති මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකිරීම සහ ආහාරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මතුවන ගැටලු ද මෙහිදී අවධානයට ලක්වුණා.

මේ අතර, පාසල්වල පවතින මානව සම්පත් සම්බන්ධ ගැටලු සහ ඒවාට විසඳුම් ලබා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කර සකස් කරන ලද “ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ පවතින මානව සම්පත් ඌන උපයෝජනය තුරන් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් විද්වත් කමිටු වාර්තාව” නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

පාසල්වල පවතින මානව සම්පත් සම්බන්ධයෙන් අනුකාරක සභාව විසින් ලබාදුන් උපදෙස් අනුව සකස් කරන ලද මෙම වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානයට යොමු වුණා.

කාරක සභා රැස්වීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පාර්ශ්වයන් ද සහභාගී වුණා.